Читать онлайн книгу «වෙස් ගත් මිනිසුන්» автора Owen Jones

වෙස් ගත් මිනිසුන්
Owen Jones
හනග ට හදසයම අමත හඟමක දනනනට පටන ගත බවන, ඔහ තම නනදණය වන, එම පරදශය කටටඩය බමට යය. ඇය පරකෂණ කහපයක සද කර හනගට රධරය නමත බව තරණය කරය, නමත ඔහ ඔහග පව අයට ඒ බව කස පවසනනද? ඔවන ඒ ගන කමක කරන ඇතද?
හනග  යන ඕසය දශ සමවට ඉත ආසනනව උතර තයනතය චය රයට ඊසන දසන දෂකර කඳකර පදසක ජවතව එළවන ඇතදඩ කරනනව කනක. එය සම කනකම එකනකව ඉත හදන දනන තදන බඳණ පරජවක. හනගට හදසයම අසනප වන අතර, නමත එය එළවනව කම සඳහ ගනයමට අසර අනදම අසනපයක නවන නස, එක දනක ඔහ පරදශය කටටඩය බමට යනන ඔහව කනත වමට පටන ගත බවන. අවට වදයවරන නමත ව අතර කටටඩය සයවස ගණනවක තසස බහ මනසනග අසනප වට පරමණවත වය. කටටඩය නදරශක කහපයක ගන නගමනය කරනන හනගග වකගඩ ව කරයකරතවය නතර ව ඇත බවත ඔහට ජවතවමට වඩ කයක නමත බවතය. හනගග ජවතය බර ගනම සඳහ සටන පටන ගනය, නමත වනත බවගද ඒ අතර කරයතමක ව. ඔහ කටටඩයග උපදස බ ගතහත, හනග, ඔහග පව අය සහ සස පරජවට කමක වන ඇතද?


වෙස් ගත් මිනිසුන්

නුතන වැම්පයර් පවුලක හාස්‍යජනක කතාව

ඕවන් ජෝන්ස්

විසිනි

ප්‍රකාශන හිමිකම ඕවන් ජෝන්ස් 2021
මෙම කෘතියේ කතුවරයා ලෙස හඳුනා ගැනීමට ඕවන් ජෝන්ස්ට ඇති අයිතිය 1988 ප්‍රකාශන හිමිකම් සැලසුම් සහ පේටන්ට් පනතේ 77 සහ 78 වගන්ති ප්‍රකාරව තහවුරු කර ඇත. කතුවරයාගේ සදාචාරාත්මක අයිතියද තහවුරු කර ඇත.
මෙම ප්‍රබන්ධාත්මක කෘතියේ චරිත සහ සිදුවීම් සියල්ල කතුවරයාගේ පරිකල්පනයේ මවාපෑමක් හෝ ඒවා මුළුමනින්ම ගෙතූ ප්‍රබන්ධ හෝ වේ. සමහර ස්ථාන පැවතිය හැකි නමුත් සිදුවීම් සියල්ල ප්‍රබන්ධාත්මකය

මේගන් ප්‍රකාශන සේවා විසින් ප්‍රකාශයට පත් කරන ලදී

පිළිගැන්වීම

මෙම පොත මගේ මිතුරන් වන ඩේවිඩ් ප්‍රොසර් සාමිවරයාට සහ මරේ බ්‍රොම්ලි වෙනුවෙන් කැප කර ඇති අතර, 2013 දී ඔවුන් මට සහ මගේ තායි පවුලට, ඔවුන් තේරුම් ගෙන ඇති ප්‍රමාණයටත් වඩා උදව් කර තිබේ.
කර්මය සෑම කෙනෙකුටම කාරුණිකව ආපසු ගෙවනු ඇත.

අන්තර්ගතය
1 ලී මහතාගේ අපහසුව
2 ලී පවුලේ දෙගිඩියාව
3 පී පොබ් හෙන්ග්
4 නැවත සුවය ලැබීමේ මාර්ගය
5 ඒ මිනිසෙක් ද? ඒ කුරුල්ලෙක් ද? නැහැ! ඒ හෙන්ග්
6 හෙන්ග් ආපසු වැඩට යයි
7 හෙන්ග් ඔහුගේ ආහාර වේල පුළුල් කරයි
8 හෙන්ග් ගේ අත්හදා බැලීම්
9 ගෘහයට පැමිණි අමුත්තෝ
10 නව පවුල් ව්‍යාපාරයක්
11 හිපි අඩි පාර
12 විවේකය
13 වවුල් මිනිසා සහ වවුල් ගැහැණිය
14 වවුලන් ප්‍රජාව වර්ධනය වේ
15 පළමු වවුල් කවුන්සිලය
ගැටපදය
කර්තෘ ගැන
බැංකොක්හි ටයිගර් ලිලී
මා හා සම්බන්ධ වන්න:
http://facebook.com/angunjones (http://facebook.com/angunjones)
http://twitter.com/lekwilliams (http://twitter.com/lekwilliams)
owen@behind-the-smile.org (mailto:owen@behind-the-smile.org)
http://owencerijones.com (http://owencerijones.com/)

අභ්‍යන්තර තොරතුරු සඳහා අපගේ පුවත් ලිපියට සම්බන්ධ වන්න.
ඕවන් ජෝන්ස්ගේ පොත් සහ ලිවීම් මත
ඔබගේ විද්‍යුත් තැපෑල පහත දිගුවට ඇතුළත් කිරීමෙන්:
http://meganthemisconception.com (http://meganthemisconception.com/)
1 ලී මහතාගේ අපහසුව

ලී මහතා හෝ ඔහුව ඒ අවට සිටින සියලු දෙනා දන්නා පරිදි වයසක ලී, සති ගණනාවක් තිස්සේ අමුතු හැගීමකින් සිටි අතර, ප්‍රාදේශීය ප්‍රජාව ඉතා කුඩා හා හුදෙකලාව සිටි හෙයින්, ඒ අවට සිටි සියල්ලන්ම ඒ ගැන දැන සිටියහ. ඔහු නවීන වෛද්‍යවරයකුගෙන් නොව, ප්‍රාදේශීය වෛද්‍යවරයකුගෙන් උපදෙස් ලබා ගෙන තිබූ අතර, ඔහුගේ රුධිරයේ යම් කිසි දෙයක බලපෑම නිසා ඔහුගේ ශරීරයේ උෂ්ණත්වය සමතුලිත නොවන බව ඇය ඔහුට පවසා තිබේ.
ඒ අවට කට්ටඩිකම් කරන්නාවූ, ඇත්තෙන්ම ලී මහතාගේ නැන්දනිය වූ මෙම කාන්තාව, එම අසනීපය පිලිබඳ හේතුව තවමත් නිශ්චිතවම නොදන්නා නමුත්, ඇයට අධ්‍යයනය සඳහා සාම්පල කිහිපයක් ඉතිරි කළ හොත්, පැය විසිහතරකින් පමණ කාරණය ගැන දැන ගන්නා බවටත්, ඔහුව නැවත කැඳවනු ලැබූ විට එන ලෙසත් පවසා තිබේ. ඇය ලී මහතාට පාසි කැටියක් සහ ගලක් භාර දුනි.
කළ යුත්තේ කුමක්දැයි ඔහු දැන සිටියේය, මන්ද ඔහු මීට පෙර එය කර ඇති හෙයිනි, එබැවින් ඔහු පාසි මත මුත්‍රා කර ගැඹුරට උගුර පාදා ගල මතට කෙළ ගැසීය. ඔහු ඒවා නැවත ගාම්බීරව ඇය වෙත භාර දුන් අතර, ඇය ඒවා අපවිත්‍ර නොවන ලෙස ඇගේ දෑතින් ස්පර්ශ නොකිරීමට වගබලා ගෙන, හැකි තාක් කල් ඒවායේ තෙතමනය ආරක්ෂා කර ගැනීම සඳහා ඒවා කෙසෙල් කොළ කැබලිවල ඔතා තැබුවාය.
“ඒවාට දිරාපත් වීමට හා වියළීමට දවසක් දෙන්න, ඉන්පසු මම හොඳ හැටි පරික්ෂා කර ඔබගේ ප්‍රශ්නය මොකක්ද බලන්නම්.”
“ස්තූතියි, ඩා නැන්දා, මම කිව්වේ, කට්ටඩි ඩා. මම ඔබේ කැඳවීමක් බලාපොරොත්තුවෙන් සිටිනවා. ඔබ මට කතා කළ විගසම ආපසු එන්නම්.”
“ඔයා ඔහොම ඉන්න, මගේ කොල්ලා, මම තවම ඔයත් එක්ක ඉවර නැහැ.”
ඩා තමා පිටුපසින් තිබු රාක්කයෙන් මැටි භාජනයක් ගත්තාය. ඇය එය විවෘත කර, එයින් උගුරු දෙකක් මුවට දමාගෙන, වයසක ලීගේ මුළු ශරීරය පුරා විසිරෙන ලෙස කෙළ ගැසුවාය. ඩා තම දෙවිවරුන්ට යාච්ඤා කරමින් සිටියදී, ලී මහතා සිතුවේ ඇයට ‘පවිත්‍ර කිරීම’ ගැන අමතක වී ඇති බවය - ඔහු කිසිවෙකුගෙන් හෝ කෙළ පහර කෑමට අකමැති වූ අතර විශේෂයෙන් දිරාපත් වූ දත් ඇති මහලු කාන්තාවකගේ කෙල පහර කෑමට ඉතා අකමැති විය.
“එම මද්‍යසාර ද්‍රවණය සහ මාගේ යාච්ඤාව මෙම කාරණය නිසි ලෙස විසඳා ගත හැකි වන තෙක් ඔබව වෙහෙසට පත් නොකරන බව මට විශ්වාසයි.”
කට්ටඩි ඩා ඇගේ වෛද්‍ය අභයභූමියේ මැටි පොලවේ ඉඳගෙන සිටි නෙලුම් මල් ඉරියව්වෙන් නැගිට, ඇගේ බෑණනුවන්ගේ උරහිස වටා අත තබා, සිගරට්ටුවක්ද අතින් ගෙන ඔහු සමඟ පිටතට ඇවිද ගියාය.
පිටතට පැමිණි පසු ඇය එය දැල්වූ අතර ගැඹුරු ලෙස දුම ඇදීමක් කළ පසු ඇගේ පෙණහලු දුමාරයෙන් පිරී ඇති බවක් ඇයට දැනුනි. “ඔබේ බිරිඳ සහ ආදරණීය දරුවන් කොහොමද?”
“ඔහ්, ඔවුන් හොඳින්, ඩා නැන්දා, නමුත් මගේ සෞඛ්‍යය ගැන බොහෝ සැලකිලිමත්. මට දැන් කලක සිට ටිකක් කරදරයක් දැනෙනවා. ඔබ දන්නා විදිහට මගේ මුළු ජීවිත කාලය පුරාම මම අසනීප වී නැහැ.”
“නැහැ, අපි ලී වරු ශක්තිමත් කොටසක්. ඔබේ පියා, මගේ ආදරණීය සහෝදරයා, උණ රෝගයෙන් මිය නොගියේ නම්, ඔහු තවමත් ශක්තිමත් කෙනෙක්. ඔහු මී හරකෙකු වගේ ශක්තිමත්ව හිටියා. ඔබත් ඔහු වගේමයි. ඔහුට කවදාවත් වෙඩි වැදී නැහැ. මම හිතන්නේ ඔයාගේ ප්‍රශ්නය ඒක තමයි, යැන්කී උණ්ඩය.”
ලී මහතා මීට පෙර අවස්ථා සිය ගණනකදී මේ කතාව අසා ඇති නමුත් ඔහුට තර්කය ජය ගැනීමට නොහැකි වූ නිසා ඔහු ඔලුව වනා, නැන්දාට බාත් පනහක නෝට්ටුවක් භාර දී ගමට යාර සිය ගණනක් එපිටින් පිහිටි තම ගොවිපොළ නිවසට පිටත් විය.
ඔහුට මේ වන විටත් හොඳ සුවදායක බවක් දැනුනු අතර, ඒ නිසාම ඔහු සෑම කෙනෙකුටම එය ඔප්පු කිරීමට මෙන් දැඩි ආත්ම ශක්තියකින් ගමන් කළේය.
ඔවුන්ගේ ප්‍රජාවේ අනෙක් සියල්ලන් මෙන්, වයසක ලී ඔහුගේ පෞරාණික නැන්දාවූ ඩාව මුළුමනින්ම විශ්වාස කළ අතර, එම ප්‍රජාව නිවාස පන්සියයක් පමණ වූ කුඩා ගම්මානයකින් හා පිටත ගොවිපලවල් දුසිම් කිහිපයකින් සමන්විත විය. ඔහු පිරිමි ළමයෙකුව සිටියදී ඔහුගේ නැන්දා ඩා, ගම්මානයේ කට්ටඩියා ලෙස පිළිගෙන ඇති අතර ඇයට පෙර සිටි කට්ටඩියා ගැන මතකයක් ඇති පිරිස දුසිමකටත් වඩා අඩුය. ඔවුන්ට කවදාවත් විශ්ව විද්‍යාලයකින් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු සිටියේ නැත.
ගම්වැසියන්ට වෛද්‍යවරයකු වෙත ප්‍රවේශයක් නොමැති බව මින් අදහස් නොකෙරේ, නමුත් ඔවුන් ඉතා ස්වල්පයක් වූවා සේම බොහෝ දුරින් සිටි අය විය - ළඟම සිටි ස්ථිර වෛද්‍යවරයා සිටියේ කිලෝමීටර් හැත්තෑ පහක් දුරින් වූ ‘නගරයේ’ වන අතර ඔවුන් ජීවත් වූ කඳුකර පෙදෙසක් වන තායිලන්තයේ ඊසානදිග කෙළවරේ බස් රථ, කුලී රථ හෝ දුම්රියන් නොමැත. ඊට අමතරව, වෛද්‍යවරු මිල අධික වූ අතර මිල අධික ඖෂධ නියම කළ අතර, එමගින් ඔවුන් ඉහළ කොමිස් මුදලක් උපයා ගත් බව සියලු දෙනා උපකල්පනය කළහ. ගම් කීපයකට ඈතින් සායනයක් තිබුනද එහි කාර්ය මණ්ඩලයේ සිටියේ පූර්ණ කාලීන හෙදියක් සහ සති දෙකකට වරක් පැමිණෙන අර්ධකාලීන වෛද්‍යවරයකු පමණි.
ලී මහතා වැනි ගම්වැසියන් සිතුවේ ඔවුන් බොහෝ විට ධනවත් නගර වැසියන්ට සුදුසු යැයිද, අප වැනි ගම්වැසියන්ට ඔවුන්ගෙන් එතරම් ප්‍රයෝජනයක් නැති බවය. ගොවියෙකු මුළු දවසම තම රැකියාවෙන් ඉවත් වී වෙනත් අයෙකු සමග කුලී මෝටර් රථයකින් නගරයේ වෛද්‍යවරයකු හමුවීමට යන්නේ කෙසේද? එයත් ඔබට මෝටර් රථයක් ඇති අයෙකු සොයා ගත හැකි නම් පමණි, නමුදු එහි කිලෝමීටර් දහයක් ඇතුළත තිබුනේ පැරණි ට්‍රැක්ටර් කිහිපයක් පමණි.
නැත, ඔහු සිතුවේ, ඔහුගේ පැරණි නැන්දා ගමෙහි අනෙක් සියල්ලන්ටම හොදහැටි ප්‍රමාණවත් බවත් එම නිසාම ඇය ඔහුටත් ප්‍රමාණවත් බවත්, ඒ හැරෙන්නට, ඇය කාලය සම්පූර්ණ නොවූ කිසිවෙකුට මැරෙන්නට ඉඩ නොදුන් බවත්, ඇය නිසැකවම කිසිවෙකු මරා නොදැමූ බවත්, ඒ ගැන සෑම කෙනෙක්ම දිවුරනු ඇති බවත්ය.
සෑම කෙනෙක්ම.
ලී මහතා ඔහුගේ නැන්දා ගැන බොහෝසේ ආඩම්බර විය. ඒ මන්ද යත්, සැතපුම් ගණනක් ඇතුලත මිනිසුන් සඳහා වෙන විකල්පයක් නොතිබූ අතර නිසැකවම ඇය වන් හසල අත්දැකීම් ඇති කිසිවෙකු සිටියේ නැත - හසල අද්දැකීම්…? හොඳයි, ඇයගේ වයස කීයදැයි කිසිවෙකු දැන සිටියේද නැත, ඇය පවා ඒ ගැන නොදැන සිටි අතර, නමුත් අනූවක් හෝ ආසන්න හෝ විය හැක.
ලී මහතා තම නිවසේ ඉදිරිපස මිදුලට පැමිණියේ මෙම සිතුවිලි මනසේ තබාගෙනය. ඔහුගේ බිරිඳ සමඟ මේ කාරණය පිළිබඳව සාකච්ඡා කිරීමට ඔහුට අවශ්‍ය විය, මන්දයත් ඔහු තම පවුලේ ප්‍රධානියා ලෙස බාහිර ලෝකයට පෙනී සිටියද, එම කාරණය අනෙක් සෑම පවුලකටම පොදු වූවත්, එය හුදෙක් ප්‍රදර්ශනය සඳහාම පමණක් විය, මන්ද, යථාර්ථයේ දී සෑම තීරණයක්ම ගනු ලැබුවේ සමස්තයක් ලෙස පවුල හෝ, අවම වශයෙන් සියලුම වැඩිහිටියන්ගේ එකතුව හෝ මගිනි.
මෙය ඉතා වැදගත් දවසක් වනු ඇත, මන්ද ලී වරුන්ට මීට පෙර කිසි දිනෙක ‘අර්බුදයක්’ නොතිබූ අතර ඔවුන්ගේ දරුවන් දෙදෙනාද තවදුරටත් දරුවන් ලෙස සැලකිය හැකි නොවූ අතර ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට ද ඉඩ දිය යුතුය. ඉතිහාසය නැවත ලිවීමට ආසන්නව තිබූ බව ලී මහතා හොඳින් දැන සිටියේය.
“මඩ්!” ඔහුගේ බිරිඳගේ කුලුඳුල් දරුවා ‘අම්මා’ යන්න නොකී දින සිට ඔහු ඔහුගේ බිරිඳට මෙම ආදරණීය නම කියා ඇමතුවේය. “මඩ්, ඔබ සිටිනවාද?”
“ඔව්, මම පිටිපස්සේ ඉන්නේ.”
ලී ඇය වැසිකිළියෙන් ගේ ඇතුළට එන තෙක් මොහොතකට බලා සිටියද, නිවස අධික උණුසුම් බවින් පිරී තිබු බැවින්, ඔහු ආපසු තණකොළ වහලයකින් යුතු ඉදිරිපස මිදුලට ගොස් ඔවුන් පවුලක් ලෙස ආහාර ගන්නා විශාල මේසය මත, ඔවුන්ට විවේක කාලයක් තිබේ නම් ගත කරන අන්දමින් වාඩි විය.
ලී මහත්මියගේ සැබෑ නම වැන් ය, ඇගේ සැමියා ආදරයෙන් ඇයව මඩ් ලෙස හැඳින්වූවත්, ඔවුන්ගේ වැඩිමහල් දරුවා ඇයව එනමින් ඇමතූ නිසාත්, එම නමින් දරුවන් දෙදෙනා තව දුරටත් ඇයව නොඇමතුවද, ලී මහතා එම නමින් ඇයව ඇමතුවේය. ඇයද ලී මෙන් බාන් නොයි නම් ගමෙන් පැමිණියාය, නමුත් ඇගේ පවුලේ අය ගැන වෙන කිසිවෙකු දැන නොසිටි අතර ලී මහතාගේ පවුල පරම්පරා දෙකකට පෙර චීනයෙන් පැමිණ ඇතත්, එම උපන් නගරයද එතරම් ඈතක නොවේ.
ඇය එම ප්‍රදේශයේ සිටි කාන්තාවන්ට තරමක් සමානය. ඇගේ කාලයේ ඇය ඉතා ලස්සන ගැහැණු ළමයෙක් වූ නමුත් ගැහැනු ළමයින්ට ඒ වන විට එතරම් අවස්ථාවක් නොලැබුණු අතර උසස් අරමුණු කරා යාමට ඔවුන් දිරිමත් කරනු ලැබුවේද නැත. අවුරුදු විස්සකට පසුව පවා තම දියණියගේ ජීවිත තත්වයද මෙයට බොහෝ වෙනස් වී ඇති බවක් ඇයට නොපෙනේ. පාසලෙන් පිටව යන විට ලී මහත්මිය ඉතා ඕනෑකමින් ස්වාමිපුරුෂයෙකු සෙවූ අතර හෙන්ග් ලී ඇගේ අත ඉල්ලා සිටිමින් හිලව්වට ගෙවීමට බැංකුවේ තිබූ මුදල් දෙමාපියන්ට පෙන්වූ විට, ඇය සිතුවේ වෙනත් ඕනෑම පිරිමි ළමයෙකුට වඩා ඔහු හොඳ අල්ලා ගැනීමක් බවයි. එලෙසම ඇයගේ අවස්ථාවන් වැඩි කර ගැනීම සඳහා ඇගේ මිතුරන් හා සබඳතාවලින් ඈත්ව විශාල නගරයකට යාමට කිසිදු ආශාවක් ඇයට නොතිබුණි.
ඇය ඇයටම විශේෂිත වූ ආකාරයකට හෙන්ග් ලී හට ආදරය කල අතර, එම ආදරය නමැති ගීන්න ඇයගේ කෙටි ආදර ජීවිතයෙන් නිවී ගොස් ඇතත් ඇය දැන් ඔහුගේ බිරිඳ වීමට වඩා ඔවුන්ගේ පවුල නමැති සමාගමේ ව්‍යාපාරික සහකරුවෙකු ලෙස ඔවුන්ගේ ජීවිත සහ දරුවන් දෙදෙනාගේ අන්‍යෝන්‍ය පැවැත්ම වෙනුවෙන් කටයුතු කරන්නියකි.
විවාහයට පෙර සහ පසුව ඇයට විවිධ මංගල යෝජනා පැමිණියද, වාන් කිසි විටෙක පෙම්වතෙකු සෙව්වේ නැත. ඒ කාලයේදී ඇය ඒ ගැන කෝපයට පත් වූ නමුත් දැන් ඇය ඒ දෙස බැලුවේ තරමක් මුදු මොළොක් ලෙසිනි. ලී ඇගේ පළමු සහ එකම තැනැත්තා වූ අතර දැන් ඇයගේ අන්තිමයාද වනු ඇත, නමුත් ඇයට ඒ ගැන පසුතැවීමක් ඇති නොවීය.
ඇගේ එකම සිහිනය වූයේ නිසි කල පැමිණි කල ඇගේ දරුවන්ට ලැබෙන දරු මුණුබුරන් දැක බලා ගැනීම සහ රැකබලා ගැනීම නමුත්, විශේෂයෙන් ඇගේ දියණිය, ඇය මෙන් විවාහය සඳහා ඉක්මන් වීම ඇයට අවශ්‍ය නොවීය. බිත්තර බිත්තර ලෙස පෙනෙන්නාසේ තම දරුවන්ට හැකියාවක් ඇතිනම්, දරුවන් ලැබෙනු ඇති බවත් තම දරුවන්ගේ මහලු වියේදී යම් මූල්‍ය ආරක්ෂාවක් සැපයිය හැකි එකම ක්‍රමය එය වන අතර පවුලේ තත්වය වර්ධනය කිරීමට අවස්ථාවක්ද එමගින් ලැබෙන බවත් ඇය දැන සිටියාය.
ලී මහත්මිය පවුල, තත්වය සහ ගෞරවය ගැන සැලකිලිමත් වූ නමුත් ඇයට දැනටමත් තිබූ ද්‍රව්‍යමය දේවලට වඩා වැඩි යමක් අවශ්‍ය නොවීය. ඇය මෙතරම් කාලයක් ඒවා නොමැතිව සිටීමට ඉගෙන ගෙන ඇති අතර එවැනි ද්‍රව්‍ය ඇයට තවදුරටත් වැදගත් නොවීය.
ඇය සතුව දැනටමත් ජංගම දුරකථනයක් සහ රූපවාහිනියක් තිබුනද, ඒවාට අවශ්‍ය අවම සංඥා පවා දුර්වල වූ අතර ඇයට ඒ සඳහා කළ හැකි කිසිවක් නොතිබුනද, රජය විසින් දේශීය සම්ප්‍රේෂක වැඩිදියුණු කරන තෙක් බලා සිටිය යුතු වුවත්, එය ළඟදීම නොවුනත් යම් දවසක ඉටු වනු ඇති බවට බලාපොරොත්තු සහිතව සිටියාය. ඇයට මෝටර් රථයක් අවශ්‍ය නොවූයේ ඇයට කොතැනකටවත් යාමට අවශ්‍යතාවයක් නොතිබූ නිසාත්, පාරවල්ද වලවල් හෑරී එතරම් හොඳ තත්වයෙන් නොතිබුන නිසාත්ය.
කෙසේ වෙතත්, එපමණක් නොව, ඇගේ වයස් මට්ටමේ සහ සමකාලීන මිනිසුන් හට මෝටර් රථයකට හිමිකම් කීම කෙතරම් අපහසුද යත් එම ආශාව වසර අදහස දශක ගණනාවකට පෙර අත් හැරදමා තිබුණි. වෙනත් වචන වලින් කිවහොත්, ඇය පවුලේ ප්‍රවාහන අවශ්‍යතා සැකසූ බයිසිකලය සහ පැරණි යතුරුපැදියෙන් සෑහීමකට පත්වූවාය.
ගොවියකු උපයන මුදලින් දරුවන් දෙදෙනෙකු ඇති දැඩි කිරීමේ යථාර්ථයට මුහුණ දුන් නිසා ලී මහත්මිය රන් හෝ විසිතුරු ඇඳුම් පිලිබඳ ආසාව මීට වසර ගණනාවකට පෙර ඇයගෙන් ඉවත් වී ඇති හෙයින් ඇය ඒවා පසුපස හඹා ගියේ නැත. මේ කරුණු තිබියදීත්, ලී මහත්මිය තම පවුලට ආදරය කළ සතුටින් ජීවත්වූ කාන්තාවක් වූ අතර බුදුන් වහන්සේ විසින් නැවත නිර්වාණයට එන ලෙස ඇයට ආරාධනා කරන තෙක් ඇය සිටින අකාරයෙන් සිටින ස්ථානයේ ඉවසා දරා සිටීමට සිටීමට කැමති විය.
ලී මහතා තම බිරිඳ ඇඳ සිටි චීත්තයට යටින් යමක් සකස් කරමින් ඔහු දෙසට ඇවිද එන අයුරු ඔහු බලා සිටියේය- චීත්තයට ඇතුලතින් යමක්, ඔහු සිතුවද කිසිවිටක ඔහු ඒ ගැන ඇයගෙන් අසන්නට නොයයි. ඇය මේසයේ අද්දර වාඩි වී ඩෙන්මාර්ක පර්වතයක් මත වාඩි වී සිටින දියකිඳුරියක් සේ දෙකකුල් ඉහළට ඔසවා ගත්තාය.
“හරි, ඒ නාකි මැහැල්ල මොනවද කියුවේ?”
“ඔහ්, අනේ මඩ්, ඇය එතරම් නරක කෙනෙක් නෙමෙයි! හරි, ඔයාල දෙන්නා කිසිම විටෙක එකිනෙකා ගැන නිසි අවබෝධයෙන් සිටියේ නැහැනේ, එහෙම නේද? එයා කිසි විටෙකත් ඔයා ගැන නරක වචනයක් කතා කරන්නේ නැහැ. ඇයි, මිනිත්තු තිහකට ඉස්සෙල්ලා එයා ඔයාගේ සෞඛ්‍යය … සහ ළමයින් ගැන මගෙන් ඇහුවා.”
“සමහර විට ඔයත් මහා මෝඩයෙක්, හෙන්ග්. මිනිසුන් අවට ගැවසෙන විට ඇය මටත් මා ගැනත් ඉතා හොඳින් කතා කරනවා, නමුත් අපි තනිවම සිටින සෑම අවස්ථාවකදීම ඇය මට සලකන්නේ කැලිකසල ගානටයි. ඇය මට වෛර කරනවා, නමුත් ඇය ඔබට එය දැකීමට ඉඩ නොදෙන්නේ ඔබ ඇගේ පැත්ත නොව මගේ පැත්ත ගන්නා බව ඇය දන්නා නිසයි. පිරිමින් සියලු දේ දන්නවා යයි සිතන නමුත් ඔයාගේ නාසයට යටින් සිදුවන්නේ මොකක්ද කියලා ඔයා දන්නේ නැහැ.”
“එයා අවුරුදු ගණනාවක් තිස්සේ මට විවිධාකාරයෙන් චෝදනා කරනවා… පිරිසිදු නිවසක් තබා නොගැනීම, දරුවන් සේදීම නොකිරීම වැනි දේවල් වලට අමතරව වරක් එයාඅ මගේ කෑම වල සුවඳ දැනිලා ඒවා රසවත් කරන්න මම එළු බෙටි දමා ඇති බව මට කීවා!”
“අපෝ, ඔයා ඒවාලින් භාගයක් වත් දන්නේ නැහැ, නමුත් ඔයා ඔයාගේම වන මාව විශ්වාස කරන්නේත් නැහැ, නේද? ඔව්, ඔයාට සිනායන්න පුළුවන්, නමුත් මම ඔයාට කියන්නම්, පසුගිය අවුරුදු තිහ තුළ මට එය විහිළුවක්ව තිබුනේ නැහැ. කෙසේ වෙතත්, එයාට කියන්න තියෙන්නේ මොකක්ද?”
“ඇත්තෙන්ම කිසිවක් නැහැ, ඒක පරික්ෂා කිරීමක් විතරයි, හැබයි ඉතින් අර පරණ දේ පුරුද්දට කළා. ඔයා දන්නවනේ, පාසි ටිකක් මතට මුත්‍රා කරලා, ගලක් මතට කෙළ ගසලා, එයාගේ ඒ පරණ දත් තියෙන කටෙන් මද්‍යසාර ඉසීමට ඉඩ දෙන එක. ඒක මතක් වෙනකොට මාව ටිකක් වෙව්ලනවා. හෙට ප්‍රතිඵලය දැනගත් වහාම මට දන්වන බව එයා කියුවා.”
“ළමයි කොහෙද? මෙම පවුලේ සාකච්ඡාවට සහභාගි වෙන්න එයාලා මෙහි ඉන්න ඕනේ නේද?”
“ඇත්ත වශයෙන්ම මම එහෙම සිතන්නේ නැහැ. අපි තවම කිසිවක් දන්නේ නැහැ නේද? නැත්නම් ඔයාට ඒ ගැන යම් අදහසක් තියෙනවද?”
“නෑ, ඇත්තටම නෑ. මම හිතුවා මට අර චීන ගැහැනියගෙන් සම්බාහනයක් කරගන්න පුළුවන් කියලා… මම එයාට මට මෘදුව සම්බාහනය කරන්න කිව්වොත් ඒක මට උදව්වක් වෙන්න තිබුනා. එයා උතුරු තායිලන්තයේදී එයාගේ කුසලතාව ඉගෙන ගෙන තියෙන්නේ, නමුත් සමහර විට සමහරු පවසන විදිහට එයා ටිකක් රළු වෙන්න පුළුවන්. ඔයා දන්නවා විශේෂයෙන් මගේ ඇතුළාන්තය ගැන. සමහර විට, මෘදු ලෙස අතුල්ලන කොට එයට ප්‍රයෝජනයක් ලැබෙයි…. මගේ ආදරය, ඔයා සිතන්නේ මොකක්ද?”
“ඔව්, මෘදු ලෙස අතුල්ලන්න කියන එකෙන් ඔයා අදහස් කරන්නේ මොකක්ද කියලා මම දන්නවා. ඒක එහෙම නම්, ඔයාට එහෙම කරන්න කියලා මාමාට නොකියන්නේ ඇයි? තරුණියක් තෝරා ගන්නේ ඇයි?”
“ඔයා දන්නවානේ ඇයි කියලා, මම පිරිමින්ගේ අත් මගේ ශරීරයේ තබා ගැනීමට අකමැතියි, මම මීට ඉස්සර ඒක පැහැදිලි කරලා තියනවානේ, නමුත් හරි, ඔයා කලබල වෙනවානම් මම සම්බාහනයක් නොකර ඉන්නම්.”
“මේ බලන්න, මම කියන්නේ නැහැ ඔයාට යන්න එපා කියලා! ඔයාට කොහොම හරියන්න ඕනේ නම් මට ඔයාව නවත්වන්න බැහැ! කෙසේ වෙතත්, ඔයා කියන විදිහට, හැමෝම කියන්නේ එයා ටිකක් රළු බවත්, එයා යහපතට වඩා හානියක් කරන්න පුළුවන් බවයි. මම හිතන්නේ එයා ගාවට නොයා, ඔයාගේ නැන්දාගෙන් අපට දැනගන්නට ලැබෙන තුරු ඉන්න එක වඩා ඥානවන්ත බවයි.”
“ඔව්, හරි, සමහරවිට ඔයා හරි. ළමයි කොහෙද කියලා ඔයා මට කිව්වේ නැහැනේ.”
“මට ඇත්තෙන්ම විශ්වාස නෑ, මම හිතුවා ඔයාල මේ වන විට නැවත ඇවිත් ඇති කියලා … සති අන්තයේ තියෙන උපන්දින සාදයක් ගැන හෝ වෙනත් දෙයක් ගැන බලන්න එයාලා එකට ගියා.”
ලී වරුන්ට දරුවන් දෙදෙනෙකු සිටි අතර, එක් අයෙකු පිරිමි දරුවෙකුත් අනිකා ගැහැණු දරුවෙකුත් වූ අතර, ඔවුන්ගේ පිරිමි දරුවා පිළිසිඳ ගැනීමට පෙර ඔවුන් වසර දහයක් තිස්සේ දරුවකු ලැබීමට උත්සාහ කළ බැවින් දරුවන් නිසා තමන් වාසනාවන්තයින් ලෙස ඔවුන් සිතනු ලැබුහ. දරුවන් දෙදෙනාට දැන් වයස අවුරුදු විස්සක් සහ දාසයක් වන අතර නැවත දරුවන් වැදීමට ලී මහතා සහ මහත්මිය තව දුරටත් බලාපොරොත්තු වුවේ නැත.
ඒ සම්බන්ධව උත්සහා කිරීම්ද ඔවුන් බොහෝ කලකට නතර කර තිබුණි.
කෙසේ වෙතත්, ඔවුන් හොඳ, ගෞරවනීය හා කීකරු දරුවන් වූ අතර ඔවුන් තම දෙමාපියන්ට ආඩම්බරයක් විය, හෝ අවම වශයෙන්, ඔවුන්ගේ දෙමව්පියන් ඔවුන් ගැන දන්නා දේ ඔවුන් ආඩම්බරයට පත් කළේය, මන්ද ඔවුන් වෙනත් ඕනෑම යහපත් දරුවන් හා සමාන වූ බැවිනි: සියයට අනූවක් හොඳයි, නමුත් අකටයුතුකම් වෙතද නැඹුරු වියහැකි, තවද ඔවුන්ගේ දෙමව්පියන් අනුමත නොකරන බව දන්නා රහසිගත සිතුවිලි ද ඔවුනට තිබුණි.
මාස්ටර් ලී, පුතා, ඩෙන් නොහොත් යං ලීට වයස අවුරුදු විස්සක් වූ අතර ඔහු පාසැල් ජීවිතය නිමා කොට වසර දෙකකට ආසන්නය. ඔහු, ඔහුගේ සහෝදරිය මෙන් ප්‍රීතිමත් ළමා වියක් ගත කළ නමුත්, ඔහුගේ පියා ඔහු වෙනුවෙන් ඉතා දුෂ්කර ජීවිතයක් සැලසුම් කර ඇති බව ඔහුට වැටහෙන්නට පටන් ගත්තේය. කෙසේ වෙතත් ඔහු පාසලට පෙර සහ පසු කාලය පුරා වැඩ කර නැති බව ඉන් අදහස් නොවේ. පාසැල් යන කාලයේදී පාපන්දු හා මේස පන්දු සඳහා ද නැටුම් පුහුණුවූ ගැහැනු ළමයින් සඳහාද කාලය තිබුණි.
ඒ සියල්ල සමග දැන් ඔහුගේ ලිංගික ජීවිතය පිළිබඳ අපේක්ෂාවන්ද අවසන් වී ඇති අතර, පුරසාරම් දෙඩීමට තරම් බොහෝ දේ එහි නොතිබුණි - දුර්ලභ හාදුවක් හා ඊටත් දුර්ලභ අතපත ගෑමක් පමණි, නමුත් දැන් ඔහුට වසර දෙකකට ආසන්න කාලයක් තුල එවැනි කිසිවක් නොතිබුණි. නගරයකට ගොස් කුමක් කළ යුතුද යන්න පිළිබඳව යම් හෝඩුවාවක් හෝ ඔහුට තිබුනේ නම්, තොප්පියක් වැටෙන වේගයකින් ඩෙන් හට නගරයකට පිටත්ව යාමට ඉඩ තිබු නමුත් ඔහුට නිතරම ලිංගිකව හැසිරීම හැරෙන්නට වෙනත් අභිලාෂයක් නොතිබුණි.
ඔහුගේ හෝමෝන නිසා ඔහුගේ මනස අවුල් වී සමහර එළුවන් ඔහුට ඉතා ආකර්ශනීය ලෙස පෙනුනි.
ගැහැනු ළමයෙකු සමඟ නිතිපතා සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට අවශ්‍ය නම් තමා විවාහ විය යුතු බව ඔහු වැඩි ගැඹුරකින් තොරව තේරුම් ගත්තේය.
විවාහය, එහි මිල අධික ප්‍රතිඵලය දරුවන් ලැබීම වුවද, ඉතා ආකර්ශනීය පෙනුමක් ඔහුට දීමට පටන් ගෙන තිබුණි.
ඩින් ලෙස වඩාත් හොඳින් දන්නා මිස් ලී, දහසය හැවිරිදි ඉතා ලස්සන දැරියකි. ඇය ගිම්හානයේදී පාසැල හැර ගියත්, ඇගේ සහෝදරයාට වඩා අවුරුදු දෙකක් අඩුවෙන් අධ්‍යාපනය ලබා ඇති අතර එය ඔවුන්ගේ ප්‍රදේශයේ සාමාන්‍ය දෙයකි. එසේ වුවේ ඇයගේ දක්ෂතාවයන් අඩු නිසා නොව, ඉතා ඉක්මනින් පවුල් ජීවිතයක් ආරම්භ කළහොත් ඉතා හොඳ බව සියලු ගැහැනු ළමයින් සහ දෙමවුපියන් සිතූ නිසාය. ගැහැනු ළමයෙකුගේ වයස අවුරුදු විස්සකට වඩා අඩුනම් ස්වාමිපුරුෂයෙකු ලබා ගැනීම පහසු විය. මවගේ සිතේ සන්තාපයන් නොතකා ඩින් මෙම සාම්ප්‍රදායික ‘නුවන’ පිළිගත්තේය.
ඇය සිය ජීවිත කාලය පුරාවට පාසැලට පෙර හා පසු වැඩ කර ඇති අතර බොහෝ විට ඇගේ සහෝදරයාට වඩා උද්යෝගිමත් වූ අතර ඇයගේ සහෝදරයා හට ඒ පිලිබඳ අනුදැනුමක් නොවුවේ ගැහැනු ළමයින් සෑම තැනකම පාහේ වහල් ශ්‍රමිකයන් ලෙස වැඩ කල බැවිනි.
කෙසේ වෙතත්, ඩින්, මනඃකල්පිත මත ජීවත් වූවෙකි. ඇයගේ පෙම්වතා ඇයව බැංකොක් වෙත ගෙන යන බවත් එහි ඔහු වෛද්‍යවරයකු වන අතර ඇය සිය ගැහැණු යහළුවන් සමඟ දවස පුරා සාප්පු සවාරියේ යෙදෙමින් ගත කරනු ඇති බව සිතුවාය. ඇගේ හෝමෝන ද ඇයව කරදරයට පත් කළ නමුත් ඔවුන්ගේ දේශීය සංස්කෘතිය නිසා ඇයට ඒවාට නතු වීමට අවකාශ නොවීය. පවුලෙන් පිටත පිරිමි ළමයෙකු දෙස සිනාසෙමින් බලනු පවුලේ කෙනෙකු දුටුවහොත් ඇගේ පියාගෙන්, සහෝදරයාගෙන් සහ මවගෙන් පවා ඇයට පහර කෑමට සිදුවනු නොඅනුමානය.
ඇය එය දැන සිටි අතර එය ප්‍රශ්නාර්ථයකින් තොරව ද පිළිගත්තාය.
ඇයගේ අදහස වූයේ හැකි ඉක්මනින් ස්වාමිපුරුෂයෙකු සොයා ගැනීම වන අතර ඒ සඳහා තම මවද උපකාර කිරීමට ඉදිරිපත් වී තිබිණි. ඒ මන්දයත් ලැජ්ජාවක් ඇතිවීමේ අවදානමෙන් මිදීම සඳහා, හැකි ඉක්මනින් හොඳම දේ ඉටු කළ යුතු බව ලී කාන්තාවන් දෙදෙනාම දැන සිටි බැවිනි.
සමස්තයක් ලෙස ගත් කල, ලී වරු එම ප්‍රදේශය තුල සංකේතමය පවුලක් වූ අතර ඔවුන් ඒ පිළිබඳව සතුටු වූහ. ඔවුන්ගේ දරු දෙදෙනා විශාල නගරයට පැන යාමේ සිහින දුටුවත්, ඔවුන් තම ජීවිත දේශීය චාරිත්‍ර සහ ආචාර ධර්ම සමඟ පවත්වා ගෙන ගියෝය. ගැටලුව වූයේ ශතවර්ෂ ගණනාවක් තිස්සේ කඳුකර ජනතාවගේ සිත් තුල ව්‍යාප්ත වී පැවති දියුණු වීමේ අභිලාෂයන් නොමැතිකම ඔවුන්ව වළක්වාලීමයි. එය රජයට හොඳ දෙයක් විය. එසේ නොවුනේ නම් බොහෝ තරුණ තරුණියන් බොහෝ කලකට පෙර ගම්බද ප්‍රදේශවල සිට බැංකොක් දක්වාත් එතැන් සිට වැටුප් වඩා හොඳ වූ තායිවානය සහ ඕමානය වැනි රටවල් වලට ගමන් කරනු ඇත. කෙසේ වෙතත්, සම වයසේ මිතුරන්ගෙන් එල්ල වන පීඩනය සිත් වශී කරන සුළු විය.
බොහෝ තරුණියන් බැංකොක් වෙත සංචාරය කර ඇත. ඔවුන්ගෙන් සමහරෙකුට හොඳ රැකියා ලැබී ඇති නමුත් බොහෝ දෙනෙක් විශාල නගරවල ලිංගික කර්මාන්තයෙහි යෙදෙති. ස්වල්ප දෙනෙක් එතැන් සිට විදේශ රටවල් කරාද තවත් සමහරෙක් ආසියාවෙන් පිටතට පවා ද සංචාරය කර ඇත. මේ සම්බන්ධව බිහිසුණු කතා රාශියක් ඇති අතර තරුණ ගැහැනු ළමයින් එම මාර්ගයේ ගමන් ගැනීම වැලක්වීමට ඒවා පිටුවහලක් වී ඇත. ඩින් සහ ඇයගේ මවද ඒවා ගැන අවධානය යොමු කලෝය.
ලී මහතා ඔහුගේ ජීවිතයට ප්‍රිය කල අතර ඔහුගේ පවුලට ආදරය කළේය. නමුත් ඔහු කුඩා කොලු ගැටයෙකුව සිටියදී සෑදුනු යම් රෝගයක් ශරීරය තුල ගොඩනැඟීමට පටන් ගෙන එමගින් ඔහුගේ පවුල අහිමි වනවාට අකමැති විය.
වයසක ලී මහතා (ගමේ අඩු ගෞරවයක් සහිත තරුණයින් කිහිපදෙනෙකු ඔහුව වයසක එළු ලී ලෙස හැඳින්වූ බව ඔහු දැන සිටියද) ඔහුගේ තරුණ අවධියේදී දර්ශනවාදියෙකු වූ අතර පාසැල් අධ්‍යාපනය අවසන් වූ වහාම උතුරු වියට්නාමය වෙනුවෙන් සටන් කිරීමට ලියාපදිංචි වී තිබුණි. ඔවුන් ජීවත් වූයේ ලාඕසයේ දේශ සීමාවේ බැවින් උතුරු වියට්නාමය එතරම් ඈතක නොවුවත් ඇමරිකානුවන් වියට්නාමයට සහ ලාඕසයට දමා ඇති බෝම්බ ගැන ඔහු දැන සිටි අතර ඒවා නැවත්වීමට තමාගේ කොටස ඉටුකිරීමට කැමති විය.
ඔහු කොමියුනිස්ට් කටයුතුවලට සම්බන්ධ වී වියට්නාමයට ගොස් සටන් පුහුණුව සඳහා ගියේය. ඔහු සමඟ පුහුණුව ලබමින් සිටි බොහෝ දෙනෙක් ඔහු මෙන්ම, අර්ධ චීන ජාතික, තමන්ගේ රටේ අනාගතයට මැදිහත් වන විදේශීය බලවතුන් පිළිකුල් කරන්නාවූ පිරිසක් වූහ. සැතපුම් දහස් ගණනක් දුරින් ජීවත් වන ඇමරිකානුවන් ලෝකයේ මෙම කොටසේ බලයේ සිටින අය පිළිබඳව සැලකිලිමත් වූයේ මන්දැයි ඔහුට තේරුම් ගත නොහැකි විය. ඇමරිකානුවරුන් තෝරා පත් කර ගත් ජනාධිපතිවරයා ගැන ඔහු කිසි විටෙකත් කරදර නොවීය.
කෙසේ වෙතත්, දෛවයේ සරදමකට මෙන්, ඔහුට කිසි දිනෙක වෙඩි උණ්ඩයක්වත් තැබීමට අවස්ථාවක් නොලැබුණේය. පුහුණුව නිමකොට පුහුණු කඳවුරේ සිට යුධ පිටියට ප්‍රවාහනය කරමින් සිටි ඔහුගේ පළමු දිනයේදීම ඔහුට ඇමරිකානු බෝම්බයකින් පැමිණි යකඩ කොටසක් වැදුනු බැවිනි. ඔහුගේ තුවාල ඉතා වේදනාකාරී වූ නමුත් ඔහුගේ ජීවිතයට ඉන් අනතුරක් නොවීය. ඔහු සුවවී රෝහලෙන් පිටව යනවිට ඔහුව හමුදාවෙන් ඉවත් කිරීමට තරම් එම තුවාල ප්‍රමාණවත් විය. ලොකුම කැබැල්ල ඔහුගේ ඉහළ වම් කකුලට වැදුන නමුත් කුඩා කැබලි කිහිපයක් ඔහුගේ උදරයටද වැදුනි. දැනට පවතින ඔහුගේ අසහනයට හේතුව එය විය හැකි යැයි ඔහු අනුමාන කළේය. ඔහුට වෙඩි වැදී ඇති බවට පැතිර ගිය කටකතාවට ද මෙම සිද්ධිය හේතු විය.
ඔහු නැවත නිවසට පැමිණියේ නරක කොර ගැසීමක් සමග ගොවිපලක් මිලදී ගැනීමට ප්‍රමාණවත් වන්දි මුදලක්ද අතැතිවය. ඔහුගේ කකුලේ තත්වය නරකවූ බැවින්, ඔහු ගොවිපලක් සහ එළුවන් රැළක් මිල දී ගෙන එම ඒ එළුවන් බෝ කොට විකුණා ජීවත්විය. ආපසු පැමිණ වසරක් ඇතුළත ඔහුගේ කකුල කවදාවත් නොතිබෙන තරම් හොඳ වූ අතර ඉන්පසු ඔහු මුළු ජීවිත කාලය පුරා සිහින මවමින් සිටි, ඔහු දැන සිටි ඒ ප්‍රදේශයෙහි ජීවත්වූ සුන්දර කෙල්ලෙකු සමඟ විවාහ විය. ඇය ද ගොවිතැන් පසුබිමකින් යුතු පවුලක කෙනෙකු වූ අතර ඔවුන් ප්‍රීතිමත් නමුත් ඉතා අල්ප අන්දමින් ජීවිකාව ගත කලෝය.
එතැන් පටන් ඉරිදා හැර සතියේ සෑම දිනකම, ලී මහතා තම රැළ කඳු ඉහල තණබිම් වෙත රැගෙන ගිය අතර ගිම්හානයේදී, ඔහු බොහෝ විට හමුදාවේ කල පරිදි එලිමන් කුඩාරමක රැය පහන් කළේය. එක රැයකින් නැවතී සිටියේ ඔහු මෙහි සහ එහි තිබූ එක් බිවෝක් එකක ය. හමුදාවේ. ඒ මොහොතේ වැටහීමක් නොවුනද, අද ඒ කාලයන් දෙස ආපසු හැරී බලනවිට ඒවා ඉතා ප්‍රීතිමත් දවස් ලෙස ඔහුට වැටහුණි.
චීන වෛද්‍ය කර්මාන්තයේ භාවිතය සඳහා කඳුකරයේ ජීවත්වූ කොටින් බොහෝ කලකට පෙර මරා දමා තිබූ නිසා මිනිසුන් හැර වෙන කිසිම ගොඳුරු දඩයම් කරන සතුන් කඳුකරයේ සිටියේ නැත. ලී මහතාට ඒ පිළිබඳව මිශ්‍ර හැඟීමක් තිබුණි. එක් අතකින් එය ලැජ්ජාවක් බව ඔහු දැන සිටියද අනෙක් පැත්තෙන් සෑම රාත්‍රියකම නිදි වර්ජිතව කොටින්ගෙන් තම එළුවන් ආරක්ෂා කිරීමට ඔහුට කිසිදු කැමැත්තක් නොතිබුණි. මෙයට සතියකට පමණ පෙර ඔහුට අසනීප තත්ත්වයක් ඇතිවීමට පෙර, ඔහු අවුරුදු තිහකට ආසන්න කාලයක් තම එළුරැල බලාගත් අතර, එම නිසා අනිකුත් පුද්ගලයින් තම ප්‍රදේශයේ උද්‍යානය ගැන දන්නා සේ ඔහු කඳුකරය ගැන හොඳින් දැන සිටියේය.
හැත්තෑ ගණන්වල ඇමරිකානුවන් විසින් ගුවනින් දැමූ බිම් බෝම්බ සහ විෂ සහිත තීන්ත පැකට් නිසා ගමන් නොකර වැළකී සිටිය යුතු ප්‍රදේශ කවරේද, බිම් බෝම්බ ඉවත් කල ප්‍රදේශ මොනවාදැයි ඔහු දැන සිටි අතර, මීට මාසයකට පෙර වූ දෙයකින් බෝම්බ ඉවත් කරන්නන්ට එකක් හෝ දෙකක් මග හැරී ඇති බව ඔහුගේ එළු දෙනුන්ගෙන් එක් අයෙකු සොයා ගත්තේය. ඇත්තෙන්ම එම එළදෙන සිදුවූ දේ ලජ්ජා සහිත වුවත් ගැලවී ගිය ගලක් මගින් පුපුරා ගිය බෝම්බය නිසා එළුදෙනගේ ගෙල පෙදෙසින් දෙකඩ විය. ඇගේ මළ සිරුර නාස්ති වී නොතිබුණත්, එය වේදනාකාරී නොවූ මරණයක් විය.
ඇගේ මළකඳ ගෙදර ගෙන යාමට බොහෝ දුරක් තිබුන නිසා ලී මහතා දින කිහිපයක් කඳුකරයේ ගත කරමින් එය කා දැම්මේය. මේ බව නොදත් ඔහුගේ පවුලේ අය ඔහුට කුමක් වී දැයි සිතමින් ශෝකයෙන් ගොවිපොළට වී සිටියහ.
ලී මහතා තෘප්තිමත් මිනිසෙකි. ඔහු තමාගේ වැඩ කටයුතු හා එළිමහන් ජීවිතය සතුටින් ගත කළ අතර, ඔහු කිසි විටෙකත් ධනවත් නොවනු ඇතැයි සහ නැවත විදේශගත නොවනු ඇතැයි යන කරුණු සමඟ බොහෝ එකඟ විය. මේ හේතුව නිසා, ඔහු සහ ඔහුගේ බිරිඳ දරුවන් දෙදෙනෙකු පමණක් ලැබීම ගැන දැන් සතුටු වූහ. ඔහු ඔවුන් දෙදෙනාට එක හා සමානව ආදරය කළ අතර ඔවුන්ට හොඳම දේ දීමටද මැලි නොවීය. එමෙන්ම ඔවුන් පාසලෙන් පිටව ගොස් ගොවිපොළේ පූර්ණ කාලීනව වැඩ කිරීමට හැකිවීම ගැනද ඔහු සතුටු විය. ඔහුගේ බිරිඳ ඔෳෂධ පැළෑටි සහ එළවළු වගා කරමින් ඌරන් තිදෙනෙකු හා කුකුළන් දුසිම් කිහිපයක් ඇතිකරමින් ගොවිපලට සහය විය.
ලී මහතා කල්පනා කරමින් සිටියේ වැඩ සඳහා අමතරව ලැබෙන පවුලේ සහායෙන් තම ගොවිපල පුළුල් කළ හැකි ආකාරය ගැන ය. සමහර විට ඔවුන්ට තවත් කුකුළන් දුසිමක්, අමතර ඌරන් කීප දෙනෙකු සහ මිහිරි රසැති බඩ ඉරිඟු වගා බිමක්ද අලුතින් පාලනය කල හැකි බව ඔහුට සිතුනි.
ඔහු තමා ගිලී සිටි සිතුවිලි වලින් අවදි විය, “ඒ කාරණය බැරෑරුම් නම්, මඩ්? මම මීට පෙර මේ ගැන කියුවේ නැහැ, නමුත් මම මේ සතියේ දෙවරක් ක්ලාන්ත වුනා, තවත් දෙවරක් හෝ තුන් වරක් ක්ලාන්ත දාන තත්වයට ඉතා ලං වුනා.”
“ඇයි මට මීට පෙර මේක නොකියුවේ?”
“හොඳයි, ඔයා දන්නවා, ඔයා කරදර වෙනවාට මම කැමති නැති බව. අනික ඔයාට ඒ ගැන කිසිවක් කළ නොහැකියි, නේද?”
“නැහැ, පෞද්ගලිකව නොවේ, නමුත් මට ඔයාව මීට ඉස්සරවෙලා ඔයාගේ නැන්දා වෙත යවන්න තිබුනා, නැත්නම් ඔයාව වෛද්‍යවරයකු වෙත රැගෙන යා හැකිව තිබුනා.”
“අයියෝ, ඔයා මා ගැන දන්නවා නේ මඩ්. මම අනිවාර්යෙන් කියාවි, ‘ඒ මුදල් වියදම් කිරීමට පෙර නැන්දා කුමක් කියයි දැයි බලා ඉමු’. සමහර විට විකාර හැගීමක් මට දැනෙනවා නමුත් හෙට නැන්දා කුමක් කියයිද කියා මම තරමක් බියෙන් ඉන්නේ.”
“නැහැ, ඔයා හරි, ඇයි දැන් එයාලට කරදර කරන්නේ, නමුත් මම හිතනවා නැන්දා හෙට හවස් වරුවේ මට එන්න කියයි කියලා. ඒ නිසා දරුවන්ට කියන්න හෙට තේ බොන වෙලාවේදී තියන පවුලේ රැස්වීමට එයාලා ඉන්න ඕනේ කියලා.”
“මම හිතන්නේ, මට ආයෙත් මහන්සි නිසා නින්දට ගියොත් හොදයි කියලා. නැන්දාගේ කෙල ගැසීමෙන් මට ටිකක් ප්‍රාණවත් උනත් දැන් එහෙම නැහැ. දරුවන්ට කියන්න මම හොඳින් කියලා, නමුත් හෙට මං වෙනුවෙන් එළුවන්ව ගෙනියන්න කියලා ඩෙන්ට කියන්න, එහෙම හොදයි නේද? එයාට එළුවන්ව ගොඩක් දුර ගෙනියන්න ඕනේ නැහැ, ගඟ ගාවට ගෙනිච්චොත් උන් පන් ගස් ටිකක් කාලා වතුර බොයි…දවස් දෙක තුනකට ඒක ප්‍රශ්නයක් වෙන එකක් නැහැ.”
“ඔයාට විනාඩි දහයක් මට දෙන්න පුලුවන්නම්, කරුණාකර මට ඔයාගේ විශේෂ තේ ටිකක් හදලා දෙන්න පුළුවන්ද? අර ඉඟුරු, අසමෝදගම් සහ අනිත් ඒවා දාන එක… ඒකෙන් මාව ටිකක් ප්‍රාණවත් වෙයි … ආ, කොමඩු සහ සූරියකාන්ත බීජ ටිකකුත් ගෙන්න… ඒවා තලලා දෙන්න කියලා ඩින්ට කියන්න.”
“කොහොමද සුප් ජෝගුවකුත්? ඒක ඔයා ආසම… ”
“ඔව්, හරි, ඒත් මම නිදාගෙන ඉන්නවා නම්, ඒක මේසය උඩින් තියන්න. පස්සේ සීතල උනාම බොන්නම්.”
“හලෝ, ළමයි, මම අද වේලපහින් නින්දට යනවා, නමුත් මං ගැන කරදර වෙන්න එපා, මම හොඳින්. අම්මා ඔක්කොම විස්තර කියයි. මට හිතෙන විදිහට, මට මොකක් හරි ආසාදනයක් තමයි තියෙන්නේ. සුභ රාත්‍රියක් හැමෝටම.”
“සුබ රාත්‍රියක්, පෝ” ඔවුන් සියල්ලෝම පිළිතුරු දුන්හ. ඔවුන් සියල්ලෝ ඇඳට යන ලී මහතා දෙස බලා සිටි අතර ඩින්ගේ මුහුණේ විශේෂ සැලකිලිමත් බවක් දිස්විය.
ලී මහතා නිහඬ අන්ධකාරයේ ඇඳ මත වැතිර සිටින විට, දිරාපත් වූ දතක් සෑම රාත්‍රියකම වේදනා දෙන්නාසේ ඔහුට දැනුනේ ඔහුගේ ශරීරයේ දෙපැත්ත තව තවත් තදින් ගැහෙන බවය. නමුත් ඔහු ඉතා වෙහෙසට පත්වී සිටි නිසා ඔහුගේ තේ, සුප් සහ බීජ ඔහු වෙත ගෙන එනවිට ඔහුට නින්ද ගොස් තිබිණි.
පිටත ඇති, විශාල මේසය අසල අඩ අඳුරේ එම කුඩා පවුලේ සාමාජිකයින්, ඔවුන් ශබ්ධයෙන් කතා කළද කිසිවෙකුට ඒවා නොඇසිය හැකි වුවත් ඉතා සිහින් හඬින් ලී මහතාගේ අපහසුව ගැන සාකච්ඡා කළහ.
“අම්මේ, පෝ මැරෙන්නද යන්නේ?” ඩින් කඳුළු සලමින් ඇසුවාය.
“නෑ, ආදරණීය දුව, ඇත්තෙන්ම නැහැ, කොහොමටවත්… මම හිතන්නේ නැහැ.”
2 ලී පවුලේ දෙගිඩියාව
ගම්බද සාමාන්‍ය රටාවට අනුව, සෑම කෙනෙකුම නිදාගත්තේ නිවසේ තිබෙන එකම කාමරයේය: දෙමවුපියන් සඳහා ද්විත්ව මෙට්ටයක්, ළමයින්ට එක බැගින්ද එලෙසම ඔවුන්ගේ ඇඳන් තුනම මදුරු දැල් වලින්ද ආවරණය කර තිබුණි. එබැවින් ඔවුන් පසුදා උදෑසන, හෙන්ග් අවදි වීම වැලැක්වීමට ඉතා නිශ්ශබ්ධව නැගිට්ටෝය.
කිසියම් දෙයක් වැරදී ඇති බව දරුවෝ සිතුවෝය, මන්ද ලී මහතා සාමාන්‍යයෙන් සීතල උදෑසනක පවා පළමුවෙන් නැගිට පිටතට යන පළමු තැනැත්තා වූ බැවිනි. ඔහුගේ මරුනාසේ සුදුමැලි වූ මුහුණ දෙස මදුරු දැල තුලින් කනස්සල්ලෙන් බලා සිටි ඔවුන්ව, මව විසින් එලියට කැඳවාගෙන යන ලදී.
“ඩින්, අපට උදව්වක් කරන්න. මම ඔයාගේ තාත්තාගේ පෙනුමට කැමති නැහැ, ඉක්මණින් නාලා නැන්දාට අපට කියන්න තියෙන්නේ මොකක්ද බලන්න, එහෙම නේද? ඔයා හොඳ කෙල්ලෙක්. අපි උදේ වැඩියි තමයි, එත් එයා ලැස්ති නැත්නම් ඇගේ ප්‍රියතම බෑණා වෙනුවෙන් ප්‍රමාද වෙන්න ඉස්සර එයාට විශේෂ උත්සාහයක් ගන්න පුලුවන්ද අහන්න.”
ඩින් හඬමින් ස්නානය සඳහා දිව්වාය. “කණගාටුයි, මගේ ආදරණීය දුව, මම ඔයාව කලබලයට පත්කරන්න හිතුවේ නැහැ!” ඇය තම දියණියට කෑගැසුවාය.
මිනිත්තු පහළොවකට පසු ඇය ඇගේ ලොකු නැන්දාගේ නිවසට පැමිණෙන විට, පුරාණ කට්ටඩියා නැගිට ඇඳ පැළඳ, නිවස ඉදිරිපිට විශාල මේසය මත හිඳගෙන බත් සහ සුප් අනුභව කරමින් සිටියාය.
“ඔබට සුබ උදෑසනක්, ඩින්, ඔයාව දැකීම සතුටක්, ඔයාට සුප් බඳුනක් ඕනෙද? ඒක රසයි.” ඩා ඇගේ මිණිබිරියන් වෙත විශේෂයෙන් ඩින් වෙත දැඩි සෙනෙහසක් දැක්වුවද, ඇය කියූ දේ ඇසූ විට, පැය විසිහතරක් ඇතුළත මේ ආකාරයේ නිසි රෝග විනිශ්චයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ඇගේ මව බොහෝ දේ ඉල්ලා සිටින බව පැවසීය.
“අනේ ඔයාගේ අම්මා! හරි, අපිට කරන්න පුළුවන් දේ අපි බලමු… ඔයාගේ තාත්තාගේ තත්වය නරකයි වගේ නේද?”
ඔව්, ඩා නැන්දා, එයා මළමිනියක් වගේ සුදුයි, නමුත් අපි හිතන්නේ නැහැ එයා තවම මැරිලා කියලා… මම පිටත් වෙලා එනකොට අම්මා එයාගේ ප්‍රතිචාරය බලන්න කටුවකින් ඇන්නා. පෝ මැරෙනවට මම කැමති නැහැ, ඩා නැන්දා ඩා, කරුණාකර එයාව බේරගන්න.”
“දරුවා, මට පුළුවන් හැම දෙයක්ම මම කරන්නම්, නමුත් බුදුන් වහන්සේ එන්න කියූ විට ‘බැහැ’ කියන්න කාටවත් බැහැ, ඒත් අපිට කරන්න පුළුවන් දේ බලමු. එන්න මාත් එක්ක.”
ඩා ඇගේ සිද්ධස්ථානයට ඇතුළු වී ඉටිපන්දමක් දල්වා ඔවුන්ට පිටුපසින් දොර වැසුවාය. ඇය බලාපොරොත්තු වූයේ ඩින් හට ඉගැන්විය හැකි තරුණ වියේ සිටියදී ‘පැරණි ක්‍රම’ ගැන ඇය උනන්දුවක් දක්වනු ඇතැයි කියාය. මන්ද ලී පවුල තුළ මෙම රැකියාව රඳා පැවතීමට නම් ඇයට යම් දිනෙක අනුප්‍රාප්තිකයෙකු එම පවුලෙන් අවශ්‍ය බව ඇය දැන සිටි බැවිනි.
ඇය ගෙබිමෙහි තිබු, තොරතුරු විමසීමට පැමිණෙන පුද්ගලයින් අසුන් ගන්නා පැදුරට ඇඟිල්ල දිගු කළ අතර ඩින් ඒ මත වාඩි වූවාය. පසුව ඇයද ඩින් ඉදිරිපිට වාඩි වීමට පෙර, තම පැල්පත වටා යාච්ඤා කර ඇවිදිමින් ඉටිපන්දම් කිහිපයක් දැල්වුවාය. ඇය ඉන්පසු, පැදුර මත වාඩිවී තම උකුල මත දෙඅත් තබාගෙන සිටි, ඩින් ඉදිරිපිට වාඩි වුවාය.
ඩා ඇගේ ලේලිය දෙස බැලූ අතර, ඇගේ සිරුර පුරා සුළු කම්පනයක් ඇතිවනු ඇයට දැනුනි. ඇය තත්පර කිහිපයක් ඇගේ දෙඅත් දෙස බලා නැවතත් හිස ඔසවා ඩින් දෙස බැලුවාය.
“ඔබ පැමිණියේ වෙනත් කෙනෙකු ගැන උපදෙස් ලබාගැනීමටද? කරුණාකර ඔබේ ප්‍රශ්නය අසන්න” ඩා කීවේ එම පැල්පතින් පිටතදී කිසිවකු අසා නොමැති ගැඹුරු, අඳුරු, ගිගුරුම් දෙන හඬකිනි.
ඇයගේ නැන්දා වෙනත් බලවේගයකට තම ශරීරයට ඇතුළු වීමට ඉඩ දීම හේතුවෙන් ඇතිවූ මෙම ආවේශය ඩින්ව තිගැස්සීමකට පත් කළාය. ඇයගේ මුහුණ තරමක් වෙනස් වූ නමුදු නළුවෙකුට හෝ වංචාකාරයෙකුට ඔහු රඟපාන චරිතයට ගැළපෙන පරිදි ඔහුගේ පෙනුම වෙනස් කළ හැකිසේ, ඇයගේ පෙනුම වෙනස් විය. නමුත් එම වෙනස් වීම කෙතරම් දරුණුද යත් එය දිස් වූයේ ඩාගේ ඇතුලාන්තය සම්පූර්ණයෙන් වෙනස් පුද්ගලයෙකු විසින් පුරවනු ලැබ ඇයගේ පෙනුම පමණක් නොව කටහඩද ඊට අනුරූපව වෙනස් වූ ආකාරයකි.
ඩින් තවදුරටත් ඇගේ නැන්දා ලෙස නොපෙනුණු, කට්ටඩියා දෙස බැලීය.
“මගේ තාත්තාට ගොඩක් අසනීපයි. එය කුමක්ද සහ අපට ඒ සඳහා කළ හැක්කේ කුමක්ද යන්න මට දැන ගැනීමට අවශ්‍යය.”
“ඔව්, ඔබේ පියා, ඔබ ‘පෝ’ ලෙස හඳුන්වන තැනැත්තා.”
එම පුද්ගලයාවූ ඇගේ නැන්දා, මේ මොහොතේ පිරිමියෙකු මෙන් හඬ නඟා, පෙර දින හෙන්ග් විසින් තබා ගොස් තිබු එක් එක් දවටන මත අත් තබා දෑස් වසා ගත්තාය. දිගු විරාමයක් සමග ඇතිවූ දැඩි නිශ්ශබ්දතාවය තුලදී ඩින්ට සිතුනේ, තද පොළොවේ කුහුඹුවන් ඇවිදින හඬද ඇයට ඇසුණු බවය.
ඩින් මීට පෙර මෙවැනි අවස්ථා විශාල ගණනකට සහභාගී වී ඇතත්, මෙතරම් බරපතල අවස්ථාවකට මුහුණදී නොමැත. ඇය වරක් තම ආමාශය පිලිබඳ ප්‍රශ්නයක්ද, මීට වසර කිහිපයකට පෙර ඇගේ මාස් ශුද්ධිය පිළිබඳවද ඉතා මෑතකදී ඇයගේ විවාහය ගැනද විමසා තිබේ. ඇය එහි ප්‍රතිපලය ගැන මිස එහි පසුබිම ගැන බිය වූයේ නැත. නමුත් ඉතා වශී කරන මෙම දර්ශනය දෙස ඇයට වාඩි වී බලා සිටීමට හා නිරීක්ෂණය කිරීම පමණක් කළ හැකි බව ඇය දැන සිටියාය.
කට්ටඩියා සෙමෙන් ගල අඩංගු පළමු පාර්සලය ලිහා, එය හොඳින් පරීක්ෂා කර, එහි සුවඳ බලා නැවත එය කෙසෙල් කොළයට දමා, පසුව පාසි අඩංගු කොළයද රැගෙන එහි සුවඳද බලා, ඇය ඉදිරිපිට පැදුර මත තැබුවාය.
කට්ටඩියා ඩින් දෙස ගාම්භීරව බලා සිට ස්වල්ප වෙලාවකට පසු කතා කළේය.
“ඔබ සැලකිලිමත් වන පුද්ගලයා සිටින්නේ ඉතා අසනීපයෙන්. ඇත්ත වශයෙන්ම ඔහු මෙම සාම්පල මට දෙන විට ඔහු මරණයට ඉතා ආසන්නව සිටියේ, නමුත් ඔහු තවම මැරිලා නැහැ… ඔහුගේ අභ්‍යන්තර අවයව සමහරක්, විශේෂයෙන් රුධිරය පිරිසිදු කිරීමට සම්බන්ධ ඒවා ඉතා දුර්වල මට්ටමක පවතිනවා… මම හිතන්නේ, තායි භාෂාවෙන් කිඩිලීස් යනුවෙන් හදුන්වන, වකුගඩු වල වැඩ කිරීම සම්පූර්ණයෙන්ම නතර වෙලා, ඒවගේම අක්මාවත් වේගයෙන් නරක් වෙනවා.”
“මෙයින් අදහස් කරන්නේ මරණය අනිවාර්ය බවයි. දැනට සොයාගත් වෛද්‍ය ප්‍රතිකාරයක් මේකට
නැහැ.”
කට්ටඩියා යළිත්, පරණ තදවූ ඇඳුමක් අඳින්නාසේ වෙව්ලමින්, ඇස් පිල්ලම් වේගයෙන් ගසා, වයසක ඩා නැන්දා බවට යලිත් පත්විය.
“ඒක හොඳ ආරංචියක් නොවේ, නේද දරුවෝ? මම ආවේශ වෙලා ඉන්න වෙලාවට හැමදේම මට ඇහෙන්නේ නැහැ, නමුත් මම එයින් ටිකක් අල්ලා ගත්තා, ඒත් ඒ දේ ඔයාගේ තාත්තට නරක බව ඔයාගේ මුහුණෙන් මට පෙනෙනවා.”
“ඒ ආත්මය කියුවා වැඩ නොකරන වකුගඩු හා අක්මාව සඳහා වෛද්‍ය ප්‍රතිකාරයක් නැති නිසා, පෝ ඉක්මනින් මැරෙයි කියලා…”
“මට කණගාටුයි, ඩින්, ඔයා දන්නවා මම ඔයාගේ තාත්තාට ගොඩාක් ඇලුම් කරන බව… බලන්න, මම ඔයාට කියන්නම්, මම ආවේශ වෙනවාට අමතරව අවුරුදු ගානක් තිස්සේ ප්‍රගුණ කරපු උපක්‍රම කිහිපයක් තියනවා. දැන් අපි බලමු… ඔව්, ගල… ඔයාගේ පියා ඒ මතට කෙළ ගැසූ ස්ථානය බලන්න. කිසිම ලකුණක් නැහැ! ඒ කියන්නේ ඔහුගේ කෙලවල ලවණ නැහැ, ලවණ නැහැ, ඛනිජ නැහැ, විටමින් නැහැ, මුකුත් නැහැ, වතුර විතරයි.”
“දැන්, පාසි,” ඇය පාසි මිටිය දුරින් තබා සිඹ ක්‍රම ක්‍රමයෙන් ඇගේ නාසයට සමීප කර ගත්තාය. “ඒකමයි! මේක ඉඹලා බලන්න! ” ඇය එය ඩින්ට සිඹීම සඳහා දිගු කළ නමුත් ඩින් ඇගේ පියාගේ මුත්‍රා සුවඳ දැනීමට අකමැති විය. “එන්න, ඒක ඔයාට දෂ්ට කරන එකක් නැහැ!” ඩා කීවාය. ඇය කී ලෙස ඩින් කළාය.
“නැහැ, සුවඳක් නැහැ, පාසි සුවඳක් විතරයි”.
“හරියට හරි! පිරිමින්ගේ මුත්‍රා ඔතලා තිබ්බොත් බළලුන්ගේ මුත්‍රා වගේ ගඳයි, නමුත් ඔයාගේ තාත්තාගේ එහෙම නැහැ. එමනිසා, එහි කුණුවී ගඳ ගසන්න මස් නැහැ. ඒ කියන්නේ ඔයාගේ පියාගේ රුධිරයද වතුර වෙලා.”
“ඔයාට රුධිරය වෙනුවට වතුර එක්ක ගොඩක් කල් ජීවත් වෙන්න පුලුවන්ද? තර්කය හරිනේද? රුධිරය ශරීරය වටා සියලු යහපත් දේ ගෙනියයි, නමුත් ඔයාගේ පියාට කිසිවක් නැහැ, ඒ නිසා ඔහු නිතරම දුර්වලයි!”
“ඔයා දැන් ගෙදරට යන්න, අපි පරක්කු වැඩිද කියලා බලන්න, පියා තවමත් අප සමඟ නම් ආපසු ඔයාගේ ස්කූටරයෙන් ඇවිත් මාව එක්කන් යන්න. දැන්ම ඉක්මන් කරන්න!”
ඩින් දොරෙන් ඉගිලී ආපසු ගෙදර දිව ගියාය.
ඩින් ගෙදර ගිය අතරේදී, ඩා පිටත්ව යාමට සූදානම් වූවාය. මන්ද ඇගේ හෙන්ග් තවමත් මිය ගොස් නැති බවත්, කෙසේ හෝ සම්පූර්ණයෙන් ම මිය ගොස් නැති බවත් ඇය හදවතින්ම දැන සිටියාය. ඇය ඖෂධ පැළෑටි කිහිපයක් තෝරාගෙන ඒවා මල්ලක දමා, මුහුණට වතුර ඉස, යතුරුපැදි ගමනේදී විසිරී නොයන ලෙස හිසකෙස් වැස්මකින් බැඳ ගත්තාය. ඉන්පසු ඇය තම ලේලිය එනතෙක් බලා සිටීමට පිටතට ගියාය.
දූහුවිලි වලාකුළක් සමගින් ඩින් මිනිත්තු කිහිපයකට පසු යලි පැමිණියාය.
“ඉක්මනින් නැන්දා, අම්මා කියනවා ඉක්මනට එන්න කියලා, මොකද එයා මැරෙන්න ඔන්න මෙන්න ඉන්නේ.”
කාන්තාවකට ගැළපෙන පරිදි සැකසු පැති ආසනයක් සහිත ස්කූටරයට ඩා නැගගත් විගස ඔවුහු පිටත් වූහ. ඩින්ගේ දිගු කෙස් ඩාගේ රැලි වැටුණු මුහුණේ වේදනකාරී ලෙස වැදුණුවිට ඇය ඒවා වැලැක්වීමට මෙන් වරින් වර හිස පහත් කරමින් ගියාය. ඔවුන් පැමිණි විගසම ඩා ස්කුටරයෙන් බැස, වයසක කාන්තාවක් වුවත් ඉතා කඩිසර ගමනින් ගෙට ඇතුළුවිය.
“ඉක්මනට ආපු එක ගැන ස්තූතියි, ඩා නැන්දා, එයා නිදන කාමරයේ ඉන්නවා.”
“ඔව්, මම හිතුවා එයාගේ ආදරණීය එළුවන් එක්ක නෙමෙයි අද ඇඳේ ඉඳියි කියලා!” ඇය මදුරු දැල ඔසවා ඔහුගේ හිස අසල වාඩි වූවාය. මුලින්ම ඇය ඔහුගේ සම දෙස බැලුවාය, පසුව ඔහුගේ හිසකෙස්, තොල් සහ අවසානයේදී ඇය ඔහුගේ දෑස් විවර කර ඒවා දෙස බැලුවාය.
ම්ම්ම්, මට පෙනෙන්නේ… මට එයාගේ කකුල් පෙන්වන්න!” තම ස්වාමිපුරුෂයාගේ පාද ආවරණය ඉවත් කිරීමට වැන් ඉක්මන් වූ අතර, ඩා ඒවා මිරිකමින් වඩා හොඳින් නිරීක්ෂණය කිරීමට නැඹුරු වූවාය.
“ම්ම්ම්, මම මීට පෙර මෙතරම් බරපතල ලෙස රුධිරයේ මස් නොමැතිකම දැකලා නැහැ. කුමක් කළ යුතුදැයි ඔබේ ළමයින්ට පවසන්නට මට ටික වේලාවකට අවසර දෙනවාද? හොඳයි, මම ඉක්මනින් ආපසු එන්නම්. ඔයාගේ පුරුෂයාගේ ඔළුව යටට කොට්ට කිහිපයක් තියලා උස්සලා තියන්න, ඩෙන් මට එළියේදී උදව් කරයි ඒ අතරදී ඔයාට උදවු කරන්න මම ඩින්ව එවන්නම්.”
“ඔව්, නැන්දා, ඇත්තෙන්ම. මගේ ආදරණීය හෙන්ග්ට උදව් කරන්න ඕනෑම දෙයක් කරන්නම්.”
“හරි, අපි බලමු අපිට කරන්න පුළුවන් දේ නේද?” ඒ සමඟම ඇය නැඟිට බිමට බැස්සාය.
“ඩින් ගොස් ඔබේ අම්මාට උදව් කරන්න, ඩෙන් එන්න මාත් එක්ක, අපි ඔක්කොම කඩිනමින් හා නිවැරදිව ක්‍රියා කළ යුතුයි.”
ඩින් ඉක්මණින් තම මව වෙත ගිය අතර ඩෙන් ඇසුවේ උදව් කිරීමට ඔහු කුමක් කළ යුතුද යන්නයි.
“ගිහින් ඔයා සතුව ඇති ශක්තිමත්ම කුකුළා මට ගේන්න! ඉක්මනට, කොල්ලෝ! ”
ඔහු තම කුකුළා අත යට රඳවාගෙන පැමිණි අතර ඩා එය ඔහුගෙන් ගත්තේය. “දැන් ඔයාගේ ශක්තිමත්ම එළුවා කණුවකට තදින් බැඳලා දමන්න, හැබැයි එයාට අඟලක්වත් හෙළවෙන්න බැරිවෙන විදිහට- හිටගෙන හිටියත් වාඩිවෙලා හිටියත් ප්‍රශ්නයක් නැහැ.”
ඩෙන් වේගයෙන් එළුවා ගෙන ඒමට දිව යද්දී, ඩා මේසය අද්දර නැඹුරුවී, කුකුළාගේ බෙල්ල කපා, එහි රුධිරය බඳුනකට දමා, පණ නැති සිරුර මේසය මත ඇති එළවළු කූඩයට විසි කර උඩ තට්ටුවට වේගයෙන් දිව ගියාය.
ඇය උඩට පැමිණි විගස, “ඩින්” යනුවෙන් අමතා “ශීතකරණයේ එළුවෙකුගේ කිරි හරි වෙන මොනවා හරි කිරි තියනවද? මුකුත් නැත්නම්, බඳුනක් අරගෙන නැවුම් කිරි ටිකක් ගන්න, කරුණාකරලා, කෙල්ලේ.”
ඇයට ඉක්මන් කරන්න කීමට අවශ්‍ය නොවුනේ ඇය එවිටත් වැඩය සඳහා පිටත්ව ගොස් තිබූ බැවිනි.
“හරි, වැන්, එයා අවදියෙන්ද?”
“ඇත්තටම නැහැ, නැන්දා, භාගෙට භාගයක් වගේ.”
“හරි, ඔයා එයාගේ නහය වහලා අල්ලගන්න, මම මේ ලේ ඔහුගේ උගුරෙන් වත් කරන්නම්.” ඇය ඔහුගේ වැසී තිබූ හක්ක ඇගේ මාපටැඟිල්ල සහ මැද ඇඟිල්ලෙන් මිරිකමින් මුඛය විවෘත කර ඔහුගේ හිස පිටුපසට තල්ලු කරමින් කුකුළු ලේ උගුරු කිහිපයක් ඔහුගේ උගුරට වත් කළාය. ඩීසල් මගින් පෙට්‍රල් මෝටර් රථයක් පන ගන්වන විට මෙන් ශබ්දයක් හෙන්ග් ගේ උගුරින් පිටවන විට ඩා තේරුම් ගත්තේ ලේ වලින් භාගයක්වත් හරි මාර්ගයේ ගිය බවයි.
හෙන්ග් තම දෑස් තරමක් විවර කළේය.
“මේ මායාකාරියන් දෙදෙනා මට මොකක්ද කරන්නේ?” ඔහු ඉතා සිමින් ඇසුවේය, “ඒක හරිම අප්පිරියයි!”
“ආහ්, මට එහෙම හිතුනා තමයි”, කියමින් ඩා තවත් ලේ කටට වත්කලේය. “ඒක ඉතා සාරවත්, ඔයා ඒ සඳහා හුරු වෙන්න ඕනේ.”
ඩින් පැමිණ පැවසුවේ “නැවුම් කිරි, අපේ හොඳම එළුවා වන ෆ්ලවර් ගෙන්, තවමත් උණුසුම්” කියාය.
ඩා එය රැගෙන, ඉතිරි රුධිරය සමඟ භාගෙට භාගයක් වනසේ මිශ්‍ර කර පෙර මෙන් හෙන්ග්ගේ උගුරට වත් කළේය. නමුත් මෙවර හෙන්ගෙන් දැඩි අකමැත්තක් ප්‍රකාශ විය.
“ඒක දැක්කද!” ඇය කීවාය, “එයා දැනටමත් ශක්තිමත් වෙමින් සිටිනවා! හෙන්ග් අප සමඟ පොරබැදීමට උත්සාහ කරනවා, ඔහු ප්‍රතිරෝධය දක්වනවා. සමහර විට එයා තවම සම්පූර්ණයෙන්ම අපිව දාල ගිහින් නැහැ!”
“කමක් නැහැ! වැන් ඔයා කිරි ටික දෙන්න, නමුත් දැන් තියන ටිකෙන් භාගයක් ඉතුරු කරගන්න. මම මිනිත්තු කිහිපයකින් නැවත එන්නම්.”
ඇය පහලට බැස ඩෙන්ට කතා කළාය.
“අර එළුවා දැන් ලෑස්තිද?”
“ඔව්, නැන්දා, ඌ අතන ඉන්නවා.”
“හොඳයි, එන්න මාත් එක්ක.”
ඩා ඇගේ දැලි පිහිය ගෙන එළුවාගේ බෙල්ලේ මහා ශිරාව යාන්තමින් තුවාල කර ඉන් රුධීරය මිලි ලීටර් සිය ගණනක් ඉවතට ගලා යාමට සැලැස්වීය.
“බලා ගත්තද මම ඒක කොහොමද කළේ කියලා, කොල්ලෝ? ඒක මතක තියා ගන්න උත්සාහ කරන්න, මොකද අදින් පස්සේ හැම දවසකම ඔයාට තමයි ඕක කරන්න වෙන්නේ.”
ඔවුන් දෙදෙනාම උඩුමහලට ගිය අතර, සාමාන්‍ය නිර්වින්දනයකින් පසුව රෝහල් රෝගියෙකු ලෙස මත් ගතියෙන්, දුර්වල ස්වභාවයෙන් සහ ලතවෙමින් හෙන්ග් තම බිරිඳ සහ දියණිය සමඟ කතා කරමින් සිටිනු දුටු විට ඔවුන් පුදුමයට පත් වූහ.
ඩා එළුවාගේ රුධිරය භාගෙට භාගයක් ඉතිරි කිරි සමඟ මිශ්‍ර කළ නමුත්, පළමුව මිශ්‍ර නොකළ ලේ ඔහුට ලබාදුන්නාය.
“ඔහ්, නැන්දා, ඒක පිළිකුල් සහගතයි! අපෝ…”
“එහෙනම් මේක බීලා බලන්න” කියමින් ඇය රෝස පැහැති දියර වීදුරුවක් ඔහුට දුන්නාය.
“ඔව්… ඒක නම් නියමයි… ඒ මොකක්ද? මට දැනටමත් ඒකෙන් හොඳක් දැනෙනවා.”
හෙන්ග් එය මහත් උනන්දුවෙන් පානය කළේය.
“මේක ඖෂධ පැළෑටි සහිත මිල්ක්ෂේක්… හොඳයිද?”
“ඔව්, නැන්දා, ඉතා හොඳයි… ඉතා ප්‍රබෝධමත්. තවත් තියෙනවද?”
වැන් වයසක කට්ටඩියා දෙස බැලු අතර ඇය හිස සැලුවේය. වැන් තවත් වීදුරුවක් වත් කර ඇගේ ස්වාමිපුරුෂයාට එය පානය කිරීමට උදව් කලාය.
“අනේ, මම සතුටු වෙනවා” ඩා පැවසුවාය. “හෙන්ග්, මම හිතන්නේ මේ මිල්ක්ෂේක් වලින් අපි ඔබේ අපහසුතාවයට විසඳුමක් සොයාගෙන තියනවා උනත්, අපට තව ටිකක් එය පිරිසිදු කළ හැකි බව මට හිතෙනවා. ඔයා දන්නවද, වරින් වර රසය වෙනස් කිරීම සඳහා අපට වෙනත් අමුද්‍රව්‍ය යොදා ගන්න පුළුවන්, එතකොට ඔයාට ඒක එපාවෙන එකක් නැහැ.”
“ඔව්, නැන්දේ, මම දැනගෙන හිටියා ඔයා මා වෙනුවෙන් එනවා කියලා.”
“මගේ පවුලට ඕනෑම දෙයක් මම කරනවා, උදව් කරන්න පුළුවන් වීම මට සතුටක්” කියා ඇය පිළිතුරු දුන් අතර ඔහුට අව්‍යාජ, දුර්ලභවූ, උණුසුම් සිනහවක්ද ලබා දුන්නාය.
ඇය ඉතිරි රුධිරය, කිරි පයින්ට් එකක ප්‍රමාණය සමග සමහර ඖෂධ පැළෑටිද මිශ්‍ර කර මෙසේ පැවසුවාය.
“හෙන්ග්, මම හිතන්නේ ඔයා දැන් විවේක ගත යුතුයි. බලන්න, මෙන්න ඔයාට පස්සේ බොන්න මිල්ක්ෂේක් ටිකක්, මම දැන් ඔයාගේ පවුලේ අයට පහල තට්ටුවේදී ඒක සාදා ගන්නේ කොහොමද කියා පෙන්වන්නම්, හරිද? ඔයා පහසුවෙන් ඉන්න. මාව අවශ්‍ය නම් මට කතා කරන්න. ඉක්මනින් සුව වන්න, පස්සේ හමුවෙමු.”
උද්‍යානයේ තිබු විශාල මේසය මත සියලු දෙනාම සුවපහසු ලෙස වාඩි වුන අතර, වැන් නැවුම් පලතුරු හා සීතල වතුර සියල්ලන්ට පිළිගැන්වීමෙන් පසුව, ඩා පවුලේ රැස්වීමේ මුලසුන ගත්තාය.
“මම කලින් කීයූ විදිහට, මම මෙවැනි දරුණු සිද්ධියක් කවදාවත් දැකලා නැහැ, නමුත් මම හිතනවා මගේ අත්දැකීම් සමග වෙනත් ආත්මීය බලවේග මගින් නිවැරදි විසඳුම දීමට මාව පෙළඹවූ බව.”
“කෙසේ වුවත්, අපි මෙතෙක් භාවිතා කරලා තියෙන්නේ ‘ හදිසි අමුද්‍රව්‍ය’ ලෙස හැදින්වෙන දේ පමණයි. අපි කාරණයට මුහුණ දෙමු, මිනිසුන් කන ආහාර වර්ග නොකන්නාවූ සතුන්ගේ රුධිරය තමයි අපි හෙන්ග්ට දීලා තියෙන්නේ, ඒ නිසා ඔහුට සමහර අත්‍යවශ්‍ය මූල ද්‍රව්‍ය ලැබෙන්නේ නැහැ.”
“අපි ඇත්තටම කරන්න ඕනේ මිනිසුන් කන දේ අනුභව කරන සතුන්ගේ රුධිරය නිතරම සහ නොනවත්වා හෙන්ග්ට ලබා දීමයි. එය ගැලපෙන තරමට, හෙන්ග්ට වඩාත් හොදයි.”
“දැන්, අපි කවුරුත් දන්නවා සෑම දිනකම අපේ ශරීරයට අවශ්‍ය සෑම දේම අපි අනුභව කරන්නේ නැහැ කියලා, ඉතින් අපි හිතමු හෙන්ග්ටත් ඒක එහෙමයි කියලා. නමුත් අපි ඔහුට කුකුළු රුධිරය පමණක් ලබා දුන්නොත්, ඔහුට ලැබෙන්නේ ‘කුකුළාට’ වැඩීමට අවශ්‍ය දේ විතරයි, බොහෝ දේ මග හැරිලා යනවා.”
“ඔහුට එළුවන්ගේ රුධිරය පමණක් දුන්නොත් ඒකත් එහෙමයි. මොකද තණකොළ මත මිනිසුන්ට දිගු කාලීනව ජීවත් වෙන්න බැරි නිසා.”
“ඉතින්, ඔයා මොනවද කියන්නේ, ඩා නැන්දේ?” ඩෙන් ඇයගෙන් ඇසුවේය. “අපි ඔහුට වඳුරු ලේ සොයා ගන්න ඕනෙද?”
“හොඳයි, එය මා කියන දෙයට අනුකූලයි, ඔව්, ඩෙන්, නමුත් වඳුරන් අපි කන දේවල් හරියටම කන්නේ නැහැ නේද?”
ඇය කියූ කාරණයෙහි වැදගත්කම වැටහීමට ඇය මොහොතක් ඉඩ හැරියාය. ඩින්ට එය මුලින්ම වැටහුනාය.
“ඔයා කිව්වේ, නැන්දා, තාත්තට නිතරම වාගේ මිනිස් රුධිරය අවශ්‍යයි කියලාද?”
“ඔව්, ඩින්, යාමට පහසුම ක්‍රමයත් දිගු කාලීනව ඇති එකම මාර්ගයත් ඒක වෙන්න පුළුවන්. ඔයාට නිරන්තරයෙන් මිනිස් රුධිර සැපයුමක් සොයාගන්න බැරිනම්, මිනිස් ආහාර වේලකට බොහෝ සමානකමක් හදා ගන්න අපිට විවිධ වර්ගයේ සතුන්ගෙන් එයාට රුධිරය ලබා දෙන්න වෙනවා, උදාහරණයක් විදිහට ඌරන්, අපි කන ගොඩක් දේ කනවා, නමුත් ඔවුන් ගොඩක් පලතුරු කන්නේ නැහැ වගේම ඌරු මස් කන්නේද නැහැ.”
“මම හිතන්නේ ඔයාට ‘පරිත්‍යාගශීලී’ ඌරන් කීප දෙනෙකු හෙන්ග් වෙනුවෙන් තියාගෙන ඔවුන්ට ආහාර ලබා දීලා විශේෂයෙන් නිවැරදි රුධිරය සෑදීම සහ වෙනත් සතුන්ගේ රුධිරය සමඟ මිශ්‍ර කරලා දෙන්න පුළුවන්, ඒත් ඒ වැඩේට හුඟාක් මහන්සි වෙන්න වෙනවා. ඔයාට කුකුළු, එළු, ඌරු, බලු සහ බළලුන්ගේ ලේ මිශ්‍රණයක් හදලා ශීතකරණයේ තබා ගන්නත් පුළුවන්. නමුත් මගේ දැනුමට අනුව මීට ඉස්සර කවුරුත් එහෙම කරලා නැහැ…ඉතින් ප්‍රතිඵල ගැන අනාවැකි කියන්න බැහැ.”
“විසඳුම ඇත්ත වශයෙන්ම ඔයාලගේ මුහුණු වල තියන නහය වගේ එළිපිට පෙනෙන දෙයක්, මිනිස් රුධිරය.”
“අපි ඔයාගේ තාත්තාගේ සාම්පල අඩුම වශයෙන් පැය හතකට ඉස්සෙල්ලා පරීක්ෂා කළත් සාක්ෂි පැහැදිලියි.”
“ඔයාගේ තාත්තාට ලේ නැහැ!”
“කොහෙත්ම නැහැ!”
“බින්දුවක්වත් නැහැ!”
“මම ඔයාට පෙන්වන්නම්.” ඩා ඇගේ උරහිස් බෑගයට අතදමා කෙසෙල් කොළයක ඔතා තිබූ පාසි පොදිය පිටතට ගත්තාය. “මේක ඔයාගේ තාත්තාගේ මුත්‍රා සාම්පලයයි. දැන් බලන්න.” ඇය එයට ගිනි තැබුවාය. “ඒකෙ තෙතමනය නිසා ගිනිපුපුරු සද්දේ වැඩියි. ඒත් බලන්න, ගිනිදැල්වල පාටක් නැහැ, ඒ කියන්නේ විටමින්, ලවණ හෝ රුධිරයේ කිසිවක් නැහැ කියලයි. රතු පාටට තිබුනත් එයාගේ නහරවල තියෙන්නේ වතුර.”
“ඔයාලා කැමතිනම්, අපිට පුළුවන් එයාගේ ඇඟ තුවාල කරලා ලේ ටිකක් ගලන්න සලස්වලා පරීක්ෂා කරන්න. ඔහුට ඇත්තටම ලේ තිබුනා නම්, පාසි ටික මේ වන විට වේලිලා, ඒක ගිනි ගන්න කොට පාට පාට පෙන්නනවා”
“ගලත් මේ වගේමයි, බලන්න! හෙන්ග් මේකට කෙළ ගැසුවා, නමුත් ලවණ පෙන්වන වලල්ලක් නැහැ, කිසිවක් නැහැ, ඒනිසා ආයෙත්, වතුර විතරයි. ඔයාගේ තාත්තගේ ඇඟේ ලේ නැහැ.”
“බින්දුවක්වත් නැහැ!”
“ඒක නරකද, කට්ටඩි නැන්දා?” ඩෙන් ඇසීය.
“නරක? නරක? කොල්ලෝ, පුද්ගලයෙකුට ලේ නැතුව ජීවත් වෙන්න බැහැ!”
“මම ඔයාට ගොඩක් ආදරෙයි, ඩෙන්, ඒත් ඔයා සමහර වෙලාවට මෝඩයි! ඔයාගේ වයසේ ඉන්න සියලු පිරිමි ළමයින් වගේ,මොළයේ තියෙන්නේ ලිංගික දේවල්!”
“අනික ශුද්ධ භූමියෙන් පිටතදී මම ‘නැන්දා’ විතරයි.”
“ඔයාගේ තාත්තා වැම්පයර් කෙනෙකු බවට පත්වෙලා තියනවා… ඔහු මේ මෑතකදී ඔයාලගෙන් කාට හරි දෂ්ට කරලා තියනවද?”
“නෑ, නැන්දා, නමුත් සමහර විට එයා එළුවන්ට දෂ්ට කරනවා ඇති, අපි ඒ ගැන නම් දන්නේ නැහැ,” ඩෙන් පිළිතුරු දුන්නේය.
“ඔහ්, මෙය ඉතා බැරෑරුම්, ඇත්තෙන්ම ඉතා බැරෑරුම්. මම මේ වගේ සිද්ධීන් ගැන අහලා තියෙනවා, නමුත් මගේ… මගේ… විශාල අත්දැකීම් තියන ජීවිතයේදී එකක්වත් දැකලා නැහැ.”
ඩෙන් එවිට පැවසුවේ “තාත්තා වැම්පයර්වරයෙක් වන පී පොබ් කෙනෙක් බවට පත්වෙලාද? ඉන්න, මම මගේ මිතුරන්ට මේක කියන කම්! හෙන්ග් - පී පොබ්! ඒක නියමයි!”
“එයා ඉක්මනින්ම මැරෙයිද?” ඩින් ඇසුවාය.
“අපි එයාව බේරා ගන්න තමයි උත්සාහ කරන්නේ, ඩින්, නමුත් එයින් අදහස් කරන්නේ ඔයාලට මේ ගැන කිසිම කෙනෙකුට කියන්න බැහැ කියලයි. ඩෙන්! ඔයාට තේරෙණව ද? කාටවත්ම බැහැ , කාටවත්ම, මෝඩ කොල්ලා!”
“වැන්, ඔයාට විශ්වාසද මේ කොල්ලා ලී පරපුරේ කෙනෙක් බවට?” ඇය වැන් දෙස දෝෂාරෝපණය දනවන ක්‍ෂණික බැල්මක් යොදමින් ඇසුවාය. වැන් මෙවිට මිය ඇදෙමින් සිටින තම ස්වාමිපුරුෂයාගේ ජීවිතය බේරාගත් මහලු කාන්තාව දෙස හැකි තරම් අගෞරවයෙන් යුතුව බැලුවාය.
“ඉතින්, ඔන්න, මේවා තමයි ඔයාලගේ විකල්පයන්. අවසාන වශයෙන්, එය ඔයාලගේ තීරණයයි - ඔයාලා හතර දෙනා - ඔබ සැමට මේ ‘පිළියම’ ලබා දීමට සිදුවෙනවා, මේ තත්වයට ප්‍රතිකාරයක් නැති නිසා හෙන්ග්ට එයාගේ ඉතිරි ජීවිත කාලයම මේ විදිහට ගත කරන්න වෙයි.”
ඩා ඉන් පසුව වහල ආධාරකයකට හේත්තුවී දෑස් පියා ගත්තේ පොතක් වැසුවාක් මෙන් සාකච්ඡාව අවසන් කරමිනි. පවුලේ අය ඇය දෙස බැලූ අතර පසුව එකිනෙකා දෙස බලමින් කල්පනා කළේ ඔවුන් මෙම ප්‍රශ්නයෙන් ගැලවෙන්නේ කෙසේද යන්නයි. ඩා නැන්දා ධ්‍යානයකට සමවැදී හෝ නිදාගෙන හෝ සිටින බවක් පෙනෙන්නට තිබුණද, අනෙක් තිදෙනා ඊළඟට කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව විවාද කළහ.
“හොඳයි, අපිට ඇත්තටම ප්‍රදේශවාසීන්ගෙන් ලේ ලබා ගන්න බැහැ, අපිට පුලුවන්ද? එයාලගෙන් ගොඩක් අය එයාලගේ සීතල සහල් පුඩිං එකක පොත්තක් වත් දෙන්නේ නැති එකේ, ලේ පයින්ට් එකක් දෙයිද? අපට ඔවුන්ගෙන් එය මිලදී ගන්නටද වත්කමකුත් නැහැ.”
“අපට සංචාරකයින් අල්ලලා එයාලගේ ලේ බෝතල්වලට දමා ශීතකරණයේ ගබඩා කර තබන්න පුළුවන් …” ඩෙන් පැවසීය.
“ඇත්තටම ගොඩක් සංචාරකයින් මෙහි ගෙන එන්නේ නැහැ නේද, ඩෙන්?” ඔහුගේ මව ඇගේ දිව දික් කරමින් ඇසුවාය.
“අපට විවිධ සතුන්ගේ ලේ සහ කිරි මිශ්‍රණයක් අත්හදා බලන්න පුලුවන්. අපිටත් හැම මාසෙකම ලේ පයින්ට් එකක් පරිත්‍යාග කරන්නත් පුළුවන්.” ඩින් පැවසුවාය.
“ම්ම්ම්, අවුරුද්දකදී පුද්ගලයෙකුට කොච්චර ලේ ප්‍රමාණයක් දෙන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ, ඒත් පයින්ට් දොළහක් කියන්නේ විශාල ප්‍රමාණයක් කියලා මට හිතෙනවා- ඇත්තටම ඒක හොඳ සිතුවිල්ලක්.”
“සමහර විට අපගේ දුරින් නෑ වෙන පවුලේ සාමාජිකයන් වරින් වර ලේ පරිත්‍යාග කරන්න ඉදිරිපත් වෙයි, ඔයාගේ තාත්තාට ගොඩක් අය කැමතියි.”
“අපට මිය යන අයගෙන් සියලු රුධිරය මිලදී ගැනීමට පුළුවන් වෙයි” කියා ඩෙන් කීවේය.
“මම හිතන්නේ, එයාලා මැරෙන්න ඉස්සර ශරීරයෙන් ලේ ගන්න ඕනේ කියලයි, මොකද හදවත නතර වෙලා තියන නිසා ලේ පොම්ප කරන්න බැහැනේ.”
“අපට එයාලව කකුල් වලින් එල්ලලා ඔවුන්ගේ උගුරට තට්ටු කරන්න පුළුවන්ද… නැත්නම් ඔවුන්ගේ හදවතට… හෝ ඒ දෙකටම?”
“මට පෙනෙන විදිහට ඔයා යෝජනා කරන්නේ, කාගේ හරි ආදරණීය මහලු මව මිය ගොස් හැමෝම අඬ අඬා දුකින් ඉන්නකොට, එයාගේ ශරීරය සීතල වීමට පෙර එතැනට දුවගෙන ගිහින්, ඇයව කකුල්වලින් බැඳලා එල්ලලා ඇඟේ ලේ බාල්දියකට දමලා ඔයාගේ තාත්තට පානය කරන්න දෙන්න අහන්නද, අහ්?”
“ඒක කොච්චර දුරකට හරියයි කියල ඔයා හිතනවද?”
“සමහරවිට අපිට පුළුවන් වෙයි…”
“ඒවගේ නපුරු මෝඩ දෙයක් යෝජනා කරන්න එපා!”
“කොහොමද පොඩි බබාලා… සමහරවිට එපා, එහෙම නේද?” ඩෙන් පැවසූ අතර ඔහුගේ යෝජනා සියල්ල ප්‍රතික්ෂේප වූ නිසා පසුව නිහඬ විය.
“සාරාංශයක් විදිහට, එසේ නම් අපි, පළමුව, පවුලේ සාමාජිකයන්ගෙන් ලේ එකතු කර, දෙවනුව, සත්ව ලේ සහ කිරි මිශ්‍රණය සඳහා යමු, ඒත් ඒ එකක්වත් හරියට සිද්ධවෙයි කියලා විශ්වාසයක් අපිට නැහැ.”
“තව තියනවද?”
“අපට පුළුවන්… නැහැ, සමහර විට ඕනේ නැහැ…” ඩෙන් පැවසීය.
ඔහුගේ මව පැවසුවේ, “මෝඩ උනත් නැති උනත් කමක් හැහැ, කියන්න, අපි බලාපොරොත්තුවක් නැති තත්වයක ඉන්න නිසා, සෑම විකල්පයක්ම සලකා බලන්න ඕනේ.”
“හොඳයි, මට මුස්ලිම්වරයෙකු වෙන්න පුළුවන්…එතකොට මට භාර්යාවන් සිව්දෙනෙකු ගේන්න පුළුවන් හින්දා අපිට තව ලේ පරිත්‍යාගශීලීන් හතර දෙනෙකු ලැබෙනවා… ඔවුන්ට දරුවන් හතර දෙනෙකු බැගින් ලැබුනොත්, එතකොට පරිත්‍යාගශීලීන් 16 දෙනෙකු සහ…”
“ඔව්, හරි ඩෙන්, ඒකට ස්තූතියි! මට ඒගැන අහන්න නොතිබුණා නම් හොඳයි… ඊළඟට, ඔයා යෝජනා කරයි ඔයාගේ සහෝදරිය මිනිසුන් සතුටු කරන්න ගිහින් පයින්ට් දෙකක් ඒකට අය කරගන්න කියලා!”
ඩින් එම සිතුවිල්ල ගැන තදින් කම්පාවට පත් වූ අතර ඇගේ මව පවා එවැනි දෙයක් පැවසීම ගැන කම්පනයට පත් වූ නමුත් වැන් ඔහුට පයින් පාරක් ගසන තුරු ඩෙන් සිතුවිල්ලෙන් පීරී සිටියේය.
“මම දකින විදිහට, අපි තවම සලකා නොබැලූ තවත් ගැටලු දෙකක් තියනවා,” ඩින් පැවසුවාය. “ඩා නැන්දා කිව්වා තාත්තා අපේ සැලැස්ම අනුමත කළ යුතුයි කියලා මොකද එයා තමයි මේවා බොන්නේ. අනික හෙටට අපිට මොනවා හරි ඕනේ.”
“සමහර විට අපට හෙට එළුවන්ගේ කිරි සහ ලේ මිශ්‍රණය භාවිතා කරන්න පුළුවන්, මොකද ඔයාගේ තාත්තාට ඒක කුකුල් ලේ වලට වඩා රසවත් නිසා, නමුත් ඔව්, ඔයා හරි, අපට ඉක්මනින් ස්ථිර දෙයක් කරන්න වෙයි. අපිට පස්සේ නැන්දාගෙන් ඒ ගැන අහන්න පුළුවන්. ඔයාගේ තාත්තා සම්බන්ධයෙන් ගත්තාම, එයාට තියෙන්නේ එයා තමාගේම ආහාර අවශ්‍යතා පුරවාගන්න තරම් ශක්තිමත් වන තුරු අපි දෙන දේ අනුභව කර ස්තුතිවන්ත වෙන එකයි. ඒ වගේම ඔයා එයා ගැන සිතපු එකට එයා කෘතඥ වෙයි කියලා මට විශ්වාසයි.”
ඔවුන් තිදෙනා මෙසේ මිනිත්තු කිහිපයක් ඔවුන්ගේ පෞද්ගලික සිතුවිලි වල නිමග්නව සිටින විට, ඩා ‘අවදි විය’.
“ඔයාලට අලුත් අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් වුනාද, නැත්නම් මම විසඳුම් කියන්නද?”
“නැහැ, නැන්දා, ඩෙන්ට සිතින් මවා ගත් අදහස් කිහිපයක් තිබුණත් ඒවා ඇත්ත වශයෙන්ම කරන්න බැරි දේවල්. අවාසනාවකට මෙන්, ඔයා පැය කිහිපයකට පෙර ඉදිරිපත් කළ යෝජනාම ඇරෙන්න අපිට වෙන යෝජනා නැහැ.”
“ඔව්, මම හිතුවා ඔයා එහෙම කියයි කියලා, නමුත් අවංකව කියනවානම් මේක විසඳීමට පහසු ප්‍රශ්නයක් නොවෙයි. මටත් මගේ භාවනාවේදී විසඳුමක් ලැබුනේ නැහැ, නමුත් දැන් සවස් වෙලා පරක්කුත් නිසා මට හරි මහන්සියි. ඉතින් ඔයාලගෙන් එක් දරුවෙක්ට මාව නැවත ඇරලවන්න පුලුවන්ද, අපි මේ ගැන සිතමින් නිදා ගමු.”
ඔවුන් දෙදෙනා කෑමට යමක් නොගෙන, සතුන් පරීක්ෂා කිරීම සහ නින්දට පෙර ස්නානය කිරීම නොකර ඩෙන් නැවත පැමිණෙන තෙක් බලා සිටියහ. ඔවුන් සියල්ලෝ මේ ගැටලුව නිසා මානසිකව හෙම්බත්වී සිටියෝය. කෙසේ වෙතත්, කාරණයේ සත්‍යතාවය නම්, ඔවුන්ගෙන් කිසිවෙකුට තනිවම උඩුමහලට ගොස් වැම්පයර් කෙනෙකු සමග ගතකිරීමට තිබූ අකමැත්ත නිසා ඔවුන් සියල්ලෝ එකට උඩුමහලට යාමට බලා සිටීමයි. වැන්ට ඔහු සමඟ නිදා ගැනීමට පවා අවශ්‍ය නොවීය, නමුත් ඇයට යුතුකමක් ඇති බව ඇයට හැඟුණි, එබැවින් වැඩිමහල් තැනැත්තිය වූ ඇය ඉටිපන්දමක් දල්වාගෙන මඟ පෙන්වූ අතර දරුවන් දෙදෙනා වෙවුලමින් ඇයගේ පිටුපසින් ආවෝය.
ඔවුන් ඇඳ අසල නතර වී බැලුහ. හෙන්ග් ඇඳේ කෙළින් වාඩි වී සිටියේය, ඔහුගේ සුදුමැලි සම සහ සුදුවන් දෑස් අඳුරේ දිලිසුණි.
“පවුලේ සැමට, සුබ සන්ධ්‍යාවක්!” ඔහු පහත්, ගැඹුරු හඬින් කීවේය.
ඔවුන් තිදෙනාම ඔවුන්ගේ ඇඳන් වෙතට ගිය නමුත්, නොසෙල්වී, තමා ඉදිරියේ හිස් අවකාශය දෙස බලා සිටි හෙන්ග්ගෙන් ඔවුන්ගේ දෑස් ඉවතට ගැනීමට ඔවුන්ට නොහැකි විය.
3 පී පොබ් හෙන්ග්

දැඩි වෙහෙසට පත්ව නින්දට වැටුන ඔවුන් පසුදා උදෑසන අවදි වූ විට, හෙන්ග්, පොරවන රෙදිවලින් සම්පූර්ණයෙන් ආවරණයවී තම හිස මතද කොට්ටයක් තබාගෙන නිදා සිටියේය.
ඔවුන් නැඟිට හැකි ඉක්මනින් ඔහුගේ ඇඳ පසුකරමින් පහළට ගියෝය.
“අම්මේ, ඔයා ඊයේ රෑ තාත්තාව දැක්කද?” ඩෙන් ඇසීය. “එයාගේ ඇස්වලයි සමේ දීප්තියයි කාමරය එලිය කරා නමුත් ගොඩාක්ම එයාගේ ඇස් නේද? ඉස්සර ඒවා අපේ වගේ සුදුයි කලුයි නමුත් දැන් රතුයි රෝසයි… ඒ ලේ නිසා කියලා මම හිතනවා.”
“මම හරියටම දන්නේ නැහැ, නමුත් මම හිතන්නේ ඔයා හරි කියලයි. ඔයා සහෝදරිය එක්ක ගිගින් තව ලේ ටිකකුයි කිරි ටිකකුයි ගේනවා නම් හොඳයි. ඔයාට මතකද ඔයාගේ නැන්දා ලේ ගත්තු විදිහ?”
“ඔව්, අම්මේ, ඒත් මම වෙනත් එළුවෙකුගෙන් ගන්නම්, මොකද ඊයේ කෙනාට සනීප වෙන්න දෙන්න ඕනේ නේද?”
“ඔව්, හොඳ අදහසක් ඩෙන්. ලේ ගන්න සෑම දවසකම වෙනස් එළුවෙකු පාවිච්චි කරන්න, ඒ අතර ඩින්ට පුළුවන් සාමාන්‍ය විදිහට කිරි දෙවීම කරගෙන යන්න. නමුත් දැනට, එළුවන්ගෙන් ගන්න කිරි සියල්ලම ඔබේ තාත්තට, හරිද? එයාට ඒවා අපට වඩා ඕනේ වෙනවා, අනික මහා රෑ එයාව බඩගින්නේ තියන්නත් බැහැනේ, එහෙම නේද? ”
“ඔව් අම්මේ, අනිවාර්යෙන්ම ඔව්! ඊයේ රෑ නිදාගන්න මට සෑහෙන වෙලාවක් ගියා. මම හරිම බයෙන් හිටියේ තාත්තා මහා රෑ නැගිටලා කන්න මොනවා හරි නැත්නම් කන්න කාවහරි හොයයි කියලා”
“ඔයා දැන් ඒ වගේ දේවල් ගැන කරදර වෙන්න එපා ඩෙන්. මම ඔයාට වඩා තාත්තට කිට්ටුවෙන් ඉන්නේ, ඒ නිසා එයා එහෙම දෙයක් කරනවානම් මට තමයි, නමුත් එයාගේ ඇඳේ ලේ වැගිරෙන ගෝනියක් වගේ හමක් දැක්කොත් එලියට දුවන්න. ඒවගේම කවදා හරි උදේක අපේ මදුරු දැල පිටිපස්සේ ඉඳන් රතු ඇස් හතරක් ඔයා දැක්කත්.”
“හොදයි අම්මේ! මම ඉක්මනටම ලේ අරගෙන එන්නම්. ඩින් කොහෙද? ”
“මම දන්නේ නැහැ, සමහර වෙලාවට එයා දැනටමත් කිරි දොවන්න පටන් අරන් ඇති. ඔයා වැඩේ කරගෙන යන්න, මම යතුරුපැදියෙන් ඩා නැන්දාව එක්කන් එන්නම් - මම හිතන්නේ අපට ඔයාගේ තාත්තා ගැන තව උදවු ඕනේ එයාගෙන්. ඔයයි සහෝදරියයි තාත්තාව බලන්න යන්න ඉස්සර වෙලා මම ආයේ එනකන් ඉන්න, හරිද?”
“ඔව්, අම්මේ, මට දෙසැරයක් ඒ ගැන කියන්න ඕනේ නැහැ, නමුත් එයා මෙහි ආවොත් අපි මොකද කරන්නේ?”
“මම හිතන්නේ නැහැ එයා එහෙම එයි කියලා… මම ඇඳෙන් නැගිටින කොට එයා හොඳටම නිදි, නමුත් වැඩි වේලාවක් යන්නේ නැතුව අපි එනවා. එයා නැගිටිනවා නම්, එයාට සුබ උදෑසනක් කියලා ඔයාලව සිප ගන්න ඉඩ දෙන්න එපා.”
මිනිත්තු දහයකට පසු වැන් ඩා සමග ආපසු පැමිණියාය. ඩා ඇයගේ මේසයේ වාඩි වී සිටියේ හෙන්ග්ගේ නිවසේ කෙනෙකුගේ පැමිණීම අනිවාර්යෙන් බලාපොරොත්තු වෙමින්ය. ඔවුන් ආපසු පැමිනෙන විට, හෙන්ග් පහළට පැමිණ නොතිබුන අතර, ඩින් කිරි එකතු කර අවසන් කොටත් ඩෙන් රුධිරය සූදානම් කරගෙනද සිටියෝය.
“හොඳයි,” ඩා පැවසුවාය, “මම කියන්නේ එළු කිරි හා ලේ 50-50 ප්‍රමාණයකට, බැසිල් තේ හැන්දක්, කොත්තමල්ලි භාගයක් සහ මෙන්න මේකත් එකතු කරලා දෙන්න කියලයි. ඒක හොඳට කලවම් කරන්න. එයාට මේකෙන් උදේට ලීටර් භාගයක් දෙන්න, ඇඳට යන්න පෙරත් ඒ විදිහටම දෙන්න. දැනට ඒක ඇතිවෙයි. ඔහ්, එයාට කොයි වෙලාවකවත් සුදුළූණු දෙන්න එපා, එය වැම්පයර්වරුන්ට ඉතා නරකයි! අපි දැන් ගිහින් එයාව බලමු.”
“අපි උඩට යන්න ඉස්සෙල්ලා, නැන්දා ඩා, මම ඔයාට කියන්න ඕනේ, ඊයේ රෑ වැඩි කාලයක් එයා ගත කළේ ඇඳේ කෙළින් ඉඳගෙන, සුදුමැලි සමක් එක්ක දීප්තිමත්ව දිලිසෙන රතු ඉංගිරියාවක් තියන රෝස පැහැති ඇස් එක්ක. ඔහ්, එයා අපට කතා කරපුවාම! ඔහ්, මගේ බුදුන්! මම කවදාවත් ඒ වගේ දෙයක් අහලා නැහැ. එයා කියුවේ ‘පවුලේ සැමට, සුබ සන්ධ්‍යාවක්’ එතරම් අමුතු, ගැඹුරු කටහඬකින් … එය ඇත්තටම බයානකයි.”
“ඒකට කමක් නෑ දැන් … අපි ගිහින් එයාව බලමු.”
ඔවුන් කිරි සහ රුධීර මිශ්‍රණය සමඟ උඩුමහලට ගොස් කාමරයට ඇතුළු වූහ. සියලුම ජනේල වසා තිබූ බැවින් ඇතුළත අඳුරු විය. වැන් යළිත් පිටතට ගොස්, ඉටිපන්දමක් ගෙන, නූලකින් අසල එල්ලා තිබූ ලයිටරයක් මගින් එය පත්තු කොට නැවත කාමරයට ඇතුළු වූයේ ඩා සමග එක්වීමට ය. ඒ අතරතුර ඩා හෙන්ග් නිදා සිටි ඇඳ අසලට සමීප වූවාය.
ඉටිපන්දම් එළියෙන් අලුත් දෙයක් දිස් නොවූ නිසා කාන්තාවන් දෙදෙනා මදුරු දැල ඔසවා බැඳ ඇඳේ දෙපස වාඩි වූහ. වැන් ආවරණ ඉවත් කල අතර, ඔහු නිරුවතින්, උඩුබැලි අතට, දෑත් කුරුසියේ ජේසුස් වහන්සේ සිටියාක් මෙන් දිගු කොට, ඔහුගේ රතු පැහැති දෑස් විවෘත කොට සිටියේය. එලෙසම කුඩා ඉරි දෙකක් ඔහුගේ මුඛය වටාද දිස්විය.
වැන්, ඇගේ රෝගියා ගැන අධ්‍යයනය කරමින් සිටි ඩා දෙස ප්‍රශ්නාර්ථ ස්වභාවයෙන් බැලුවාය. ඇය ඔහුගේ නළල මත අත තැබූ අතර ඔහුගේ උෂ්ණත්වයේ සාමාන්‍ය වූ අතර ඇය ඒ ගැන පුදුම නොවීය.
“අද ඔයාට කොහොමද, හෙන්ග්?” ඔහුගේ බිරිඳ ඇසුවාය.
“බඩගිනියි… තිබහක් නැහැ,” ඔහු පැවසුවේ, කන්දක් මත සිට කඩා වැටෙන ගල් වල හඬ මෙන් ය.
“හරි, මගේ ආදරණීයයා, එහෙනම් වාඩි වෙන්න. අපි ඔයාට තවත් සුන්දර මිල්ක්ෂේක් එකක් ගෙනත් තියෙනවා.”
ඔවුන් දෙදෙනා ඔහුගේ කොට්ට නැවත සකස් කර, කෙළින් ඉඳගෙන සිටීමට සලස්වා ඔහුව බ්ලැන්කට්ටුවකින් ආවරණය කලෝය.
“මෙය පානය කරන්න, මගේ ආදරය, ඒක ඔයා ඊයේ ගොඩක් කැමති වුන රසයි.”
ඩා ඉන් ඉවල්පයක් වීදුරුවකට වත් කර බීමට බටයක්ද දැමුවාය. හෙන්ග් කොළ පැහැති පැලෑටි සහිත රෝස පැහැති දියර වීදුරු දෙකක් පානය කළ අතර එයින් ඔහු ප්‍රාණවත් විය. ඔහු කෙළින් ඉඳගෙන පළමු වරට කාමරය දකින්නාක් මෙන් වටපිට බැලීය.
“ඔයා ඒකට කැමතිද, හෙන්ග්? ඩා ඇහුවාය. “අපි එනකොට හිටියාට වඩා දැන් ඔයා බොහෝ ප්‍රාණවත්. අද පහළ තට්ටුවට එන්න පුළුවන් කියලා ඔයාට හිතෙනවද? හිරු එළිය ඔයාට හොඳක් වෙයි… ඔයා ටිකක් සුදුමැලි වෙලා… ඔයාට ගේ ඇතුලේ ඉඳලා පුරුද්දක් නැහැ නේද?”
ඇය විදේශීය භාෂාවක් කතා කරන ආකාරයට හෙන්ග් ඇය දෙස බැලුවේය. පසුව ඔහුගේ බිරිඳ දෙස බැලීය.
“ඔයාට වැසිකිළියට යන්න ඕනෙද, හෙන්ග්? ටික වෙලාවකින් නොගිය නිසා, ඔයාගේ පල්ලැහැ කොටස හොදින් නේද? ඔයාට දැන් වැසිකිළියට යන්න ඕනෙද? නැත්නම් මම ඔයාට බාල්දියක් ගෙනෙන්නද?”
“ඔව්, හොඳ අදහසක්, මට පහළ තට්ටුවේ වැසිකිළියට යාමට ඕනේ, ඒත් ඉස්සරවෙලා තවත් මිල්ක්ෂේක්.”
ඔහු කොපමණ ප්‍රමාණයක් ගත යුතුදැයි කාන්තාවන් දෙදෙනාම නොදැන සිටි හෙයින්, ඔහුට අවශ්‍ය ප්‍රමාණයට පානය කිරීමට ඔවුහු ඉඩ දුන් අතර හෙන්ග් මුළු ලීටරයම අවසන් කළේය.
ඩා නැවත වාඩි වී නිරීක්ෂණය කළ අතර වැන් ඔහුට ඇඳුම් ඇඳීමට උදව් කලාය. මිල්ක්ෂේක් ඇඟ තුල ක්‍රියාත්මක වන විට හෙන්ග් වඩාත් ක්‍රියාකාරී විය.
“එහෙනම් එන්න, අපි ඇඳුම් ඇඳගෙන පහළට යමු.”
ගැහැනුන් දෙදෙනා, වෙව්ලන මිනිසාගේ එක් අත බැගින් අල්ලාගෙන ඔහුට නැගිටීමට උදවු කළෝය. ඔහු ඇවිද්දේ හරියට රෝද බකල් ගැසූ බයිසිකලයක් පරිදිය. ඔවුන් ඔහුව තරප්පු පෙළ අසලට ගෙන ආ විට දීප්තිමත් ආලෝකය නිසා ඔහු මඳක් හැකිලුනු අතර, අඳුරු කාමරයක දින එකහමාරක් ගත කිරීමෙන් පසුව ඕනෑම කෙනෙකුට එසේ විය හැකිය. ඩෙන් සහ ඩින් තම පියා, නැන්දාගේ සහ බිරිඳගේ සහාය ඇතිව වෙරි වූ කෙනෙකු මෙන් පඩි පෙළෙන් බසිනු බලා සිටියහ.
ඔහු එතරම් දුර්වල හා වෙනස් පෙනුමක් ඇති බව දුටු ඔවුන් භීතියට පත් විය. හෙන්ග් සිහින් මිනිසෙකු වුවද දැන් ඔහු වැහැරී, හිම මෙන් සුදුමැලිවී ඇස් වෙනුවට රතු පැහැති කොට්ටම්බා ඇට සහිත පුද්ගලයෙකු විය. ඔහු පහලට බැස, මේසය අල්ලාගෙන තදින් හුස්ම ගත්තේය.
“ඩෙන් ඔයා ගාව තවමත් අර පරණ අව් කණ්ණාඩි දෙක තියනවාද ? මම හිතන්නේ ඇස් ටිකක් සංවේදී නිසා, ඔයාගේ තාත්තාට අද ඒවා ඕනේ.”
“ඔයාට හෙන්ග්ව තනියම වැසිකිළියට ගෙනියන්න පුලුවන්ද, වැන්, නැත්නම් ඩෙන්ගේ උදවුව ඔයාට ඕනෙද?”
“නෑ, මම හිතන්නේ මට තනියම පුළුවන්.”
ඇය ඔහුව ඉවතට ගෙන ගිය අතර, හෙන්ග් ඔහුගේ නිදහස් අත භාවිතා කරමින් ඔහුගේ දෑස් ආරක්ෂා කර ගත්තේය. මිනිත්තු පහළොවකට පසු ඔවුන් නැවත ඔහුව මේසයෙහි අසුන් ගැන්වූ විට, ඔහු එම ප්‍රයත්නයෙන් වෙහෙසට පත් වූ බවක් පෙනෙන්නට තිබුණි.
“ඩින්, උඩට ඉක්මනට ගිහින් රෙද්දකුයි කොට්ට කිහිපයකුයි ගෙන්න, කරුණාකරලා, තාත්තා අලුත් වාතය සහ හිරු එළිය ලබා ගැනීමට අද මෙතැන විවේක ගන්නවා. එයා ජීවිතයේ වැඩි දවසක් ගේ ඇතුලේ ගත කරලා නැහැ, ඒ නිසා ශරීරය ඒකට පුරුදු වෙලා නැහැ. බලන්න එයාගේ තත්වය දිහා…”
හෙන්ග් එක් කථිකයෙකුගේ සිට තවත් කථිකයෙකු දෙස බලමින් සිටියද කෙරුනාවූ සංවාදය වටහා ගත් බවක් නොපෙනුණි. ඔවුන් ඔහුව ඇඳ ඇතිරිලි සමඟ සැපපහසු අන්දමින් තැබූ අතර ඩෙන් අවුරුදු දහයකට පමණ පෙර ඉතා ඇලුම් කල තද කළු පැහැති අව් කණ්ණාඩි යුගලයද ගෙනැවිත් දුන්නේය.
එහි ප්‍රතිඵලය වූයේ, අව් කණ්ණාඩි පැළඳ සුදු රෙද්දකින් වැසූ වහලයේ කණුවකට වාරු දී සිටි කුරුල්ලෙකු ලෙස හෙන්ග්ව දිස්වීමයි.
“හොඳයි, දරුවෙනි, මම හිතනවා ඔයාලා ගිහින් තාත්තට තවත් මිල්ක්ෂේක් ටිකක් සූදානම් කළා නම් හොඳයි කියලා. ඔහු අද ගොඩක් බඩගින්නේ ඉන්නවා කියලා පේනවා. ඒක හොඳ ලකුණක්. අපි හරි දේ කරනවා කියලා එකෙන් පේනවා.”
“ඔයාට අද හොඳට දැනෙනවා, පෝ, එහෙම නේද?”
ඔවුන් සියල්ලන්ම ඔහුගේ ප්‍රතිචාරය එනතෙක් බලා සිටි අතර ඔහු බකමූණෙකු මෙන් ඔලුව වැනුවේය. ඩෙන් සහ ඩින් හිනාවෙමින් පිටත්ව ගියේ, මේසය මත දැන් සිටින සත්වයා පැය විසිහතරකට පෙර තම පියා නේද කියා සමාන කිරීමට අපහසුවෙනි.
“ඩා නැන්දා, ඔයා හිතනවද මම අද හවසට හෙන්ග්ට මොනවා හරි උයන්න ඕන කියලා?”
“එයා ඒක කනවානම්, එයාට හානියක් නැහැ, නමුත් ඒක මිල්ක්ෂේක් වලට ආදේශකයක් නොවෙයි.”
“හෙන්ග්, ඔයාට පස්සේ අපිත් එක්ක කන්න මොනවා හරි ඕනෙද?”
හෙන්ග් ඔහුගේ හිස දෙපැත්තට හරවමින් බිරිඳ දෙස බලා සිටියේය.
“ඔයා අද රෑ මොනවද උයන්නේ, වැන්?” ඩා ඇසුවාය.
“කුකුළු මස් හරි ඌරු මස් හරි…එයා කැමති ඕනෑම දෙයක්.”
හෙන්ග් තව දුරටත් කතා කරන ගැහැනුන් දෙදෙනා දෙස මාරුවෙන් මාරුවට බැලුවේ, එම භාෂාව කථා නොකරන රටක ජීවත් වන කෙනෙකු ලෙසිනි.
“ඇයි එයාගෙන් අහන්නේ නැත්තේ? එයා මෝඩයෙක් වෙලා නැහැනේ, මම හිතනවා එහෙම වෙලා නැහැ කියලා.”
“ඔයාට අද සවස කන්න මොනවද ඕනේ, හෙන්ග්, ඌරු මස්ද, කුකුළු මස්ද?”
ඔහු තත්පර කිහිපයක් ඇය දෙස බලා මෙසේ පැවසීය.
“ළමයා…”
“මොන එක්කෙනාද? කොහොම උනත් හෙන්ග්, ඔයාට දරුවන් කන්න බැහැ… ඒක වැරදි දෙයක්.”
“අපේ ළමයින් නෙමෙයි… එළු ළමයින්… අපිට ටික දෙනක් හිටියා නේද?” හෙන්ග් ඇසීය.
“ඔව්, අපට තවමත් ටික දෙනක් ඉන්නවා, නමුත් මම සිතුවේ අපි එයාලව රැළට එකතු කරන්න තියා ගනියි කියලා.”
“එක ළමයෙක් විතරයි.”
“ආහ්, ඔව්, හොඳයි, හෙන්ග්, ඔයා අසනීපව සිටින නිසා, මම අද රෑට ඔයාට ළමයෙකු කපලා උයන්නම්. අපි ටික ඌරු මස් කන්නම්.”
“මට ඒක ඕනේ තුනීවට, පුළුස්සලා, නමුත් තුනපහ දාලා නෙමෙයි, වැන්. මට මස්, නියම රතු මස් ටිකක් කන්න හරිම ගිජු කමක් තියනවා.”
තම පියාට තවම තමන්ව අනුභව කිරීමට කිසිදු අදහසක් නොමැති බව දැනගැනීම දරුවන්ට මහත් සහනයක් විය.
ඔහුගේ රාත්‍රී ආහාරය එනතෙක් බලා සිටී හෙන්ග් නින්දට ගොස් ඇති බව පෙනෙන්නට තිබූ නිසා, ඩෙන් තම මවගෙන් විමසුවේ කවදා හෝ තම පියාට ඔවුන්ව අනුභව කිරීමට අවශ්‍යතාවයක් ඇතිවේද යන්නයි.
“ඔහ්, අපි එහෙම හිතන්න හොඳ නැහැ, ඩෙන්, අපි එයාගේ රුචිය තෘප්තිමත් කර ගත්තොත් ප්‍රශ්නයක් නැහැ, නමුත් රුචි මොනවටද කියලා අපි තාමත් දන්නේ නැහැ.”
“ඩා නැන්දා, හෙන්ග්ගේ තත්වය ගැන ඔයා සිතන්නේ මොකක්ද?”
“මම හිතන්නේ එය සිත් ඇදගන්නා සුළුයි… ඇත්තෙන්ම ඉතා සිත් ඇද ගන්නා සුළුයි. ඊයේ, හෙන්ග් මරණයේ දොරට තට්ටු කරමින් සිටපු බව ඔයාට පෙනෙන්න ඇති, නමුත් දැන් ඔහු පැයෙන් පැයට වඩ වඩා ක්‍රියාශීලී වෙමින් ඉන්නවා, නමුත් එයා අපි හැමෝම හොඳින් දැනගෙන සිටිය හා ආදරය කළ හෙන්ග් විදිහට පෙනෙන්නේ නැහැ.”
“මෙම අලුත් හෙන්ග් මොන වගේද කියා අපට පස්සේ දැනගන්න ලැබෙයි, එහෙම නැත්නම් මේ අලුත් ආහාර වේලට පුරුදු වෙලා නැවත ලේ වර්ධනය වුනාම සමහරවිට පරණ කෙනා මතුවෙයි.”
“ඔබේ අනුමානය මගේ තරම් හොඳ වෙන්නේ නැති වෙන්න පුළුවන්, නමුත් මේ කාරණය මට අලුත් බවත්, ඒ අනුව මම ක්‍රියා කරන බවත් මම පිලිගන්නවා. මගේ අධ්‍යාත්මික මිතුරන්ගේ යෝජනා කිහිපයක් තිබුනා, ඒත් එයාලගෙන් එක්කෙනක් කියුවා හෙන්ග්ව මරා දමන්න එතකොට එයාට අලුත් ජීවිතයක් ආරම්භ කරන්න පුළුවන් කියලා.”
“ඔයා ඒ යෝජනාව ගැන සිතන්නේ මොකක්ද, වැන්?”
“එර්.., අවංකව කීවොත්, ඒක තරමක් දරුණු පියවරක් කියලා මම හිතනවා, නැද්ද ඩා නැන්දා?”
“ඔව්, මම ඔයත් එක්ක එකඟ වෙනවා, ඒ නිසයි මම ඒක යෝජනා නොකළේ, නමුත් දේවල් සුමටව සිදුවෙන්නේ නැත්නම් ඒක අපිට තියන විකල්පයක්.”
මෙම සංවාදය පුරාම හෙන්ග් නිදා සිටින බවක් පෙනෙන්නට තිබුණත් කාන්තාවන් එය පරීක්ෂා කර බැලීමට ගියේ නැත.
“ඔයා හිතනවද එයා දුක් විඳිනවා කියලා, ඩා නැන්දා?”
“එයා සාමකාමීව ඉන්නවා කියලා තමයි පෙනෙන්නේ, එහෙම නෙමෙයිද? එයා දැන් ආයෙත් කතා කරනවා ඒත් කිසිම අපහසුතාවයක් ගැන කියලා නැහැනේ, මම ඔයා නම් මම එයාගේ ශාරීරික තත්වය ගැන ඕනෑවට වඩා කරදර වෙන්නේ නැහැ, නමුත් ඔයා අනිත් හැමෝටම වඩා එයා ගැන දන්න නිසා ඕනෙම මානසික වෙනසක් දැක්කම මට කියන්න, අපිට ඒ ගැන සාකච්ඡා කරන්න පුළුවන්.”
“හරි, ඩා නැන්දා, මම ඒක කරන්නම්. බලන්න, ඔයාට වෙනත් වැඩ කටයුතු තියන නිසා අපි ඔයාව තවත් තියාගන්න කැමති නැහැ. ළමයින් නම් හරි පුදුමාකාරයි - එයාලා අපේ සියලු වැඩ භාරගෙන තියන නිසා මට හෙන්ග් සමඟ වාඩි වී ඉන්න පුළුවන්, ඒත් ඔයාව නැවත ඇරලවන්න ඕනෙනම් මට ඒක පිළිවෙල කරන්න පුළුවන්. ඔයාගේ උදව්වට අපි හැමෝම ඔයාට ස්තුතිවන්ත වෙමු, ඔයා නැතුව හෙන්ග් මිය යන්න තිබුනා කියලා අපි හොඳින් දන්නවා. අපට ඔයා වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් තියනවානම්, ඔයාට ඒක කියන්න විතරයි අවශ්‍ය.”
“ඔව්, ස්තූතියි, වැන්, සමහර විට මම පැය කිහිපයක් ගෙදරට යන්න ඕනේ, නමුත් මම කැමතියි හෙන්ග් ඔහුගේ ළමයාගේ කෑම කනවා දකින්න. ඒ නිසා මම අද සවස ඔයාලා එක්ක ඌරු මස් කන්න ඉන්නම්, ඒක සතුටුදායක දෙයක් වෙයි.”
“ගෙවීම සම්බන්ධයෙන්, දැනට ඒ ගැන කරදර වෙන්න එපා. හෙන්ග් මගේ ප්‍රියතම ඥාති පුත්‍රයා වන නිසා ඔයාලගේ කිසිවෙකුට කිසිම දෙයක් වෙනවා දකින්න මම කැමති නැහැ. ඒවගේම මොනවා හරි දෙයක් වෙන එක වලක්වන්න මගේ බලයෙන් උපරිම දේ කරන්නත් මම ලෑස්තියි.”
“මට ගෙදරට ඇවිදගෙන යන්න පුළුවන්, ආයෙත් ඇවිදගෙන එන්නත් පුළුවන්… ඔයාලා කෑම කන්න ඉන්නේ කීයටද?”
“වෙනදා වගේම හතත් හතත් තිහත් අතර, ඔයාගේ පැමිණීම අපි බලා ඉන්නවා.”
“හරි, මම දැන් යනවා, ඔයාව හතට හමුවෙන්නම්. දැනට බායි.”
“බායි, නැන්දා, ඔයාගේ සියලු උදව් වලට නැවතත් ස්තූතියි.”
ඩා පිටව ගිය පසු, තම ස්වාමිපුරුෂයා සමඟ තනිව සිටීම වැන්ට නුහුරු දෙයක් විය. ඩෙන් එළුවන්ව දිය පහර වෙත ගෙන ගොස් සිටි අතර ඩින් පවුලේ එළවළු වගා කෙරූ බිම් කැබැල්ලෙහි වැඩ කරමින් සිටියාය. තම මව සමඟ රැළේ දුවමින් සිටි එළු පැටවෙකු අද දින මරා දැමිය යුතු බව ඩෙන්ට පැවසීමට වැන්ට අවශ්‍ය වූ නමුත් හෙන්ග්ව තනි කර යාමට ඇය මැලි වූවාය. යා හැකි එකම තැනැත්තා ඩින් වූ බැවින් සුපුරුදු ලෙස දිවා ආහාරය සඳහා ඩින් නැවත පැමිණෙනු ඇතැයි ඇය බලාපොරොත්තු වූවාය. එවිට හෙන්ග් හට කරදරයකින් තොරව තම ආහාරය ලැබෙනු ඇතැයි වැන් තරයේ විශ්වාස කළාය.
ඇය ඔහු සමඟ කතා කිරීමට උත්සාහ කළ අතර, ඔවුන් හට සවන් දීමට කිසිවෙකු නොසිටි බැවින්, ඇය ආදර වචන භාවිතා කළාය.
“ඩාර්ලිං හෙන්ග්, ඔයා අවදියෙන්ද, මගේ ආදරය? අපි හැමෝම… මම ඔයා ගැන බොහෝ සේ කනස්සල්ලට පත්වෙලයි ඉන්නේ… ඔයාට ඇහෙනවානම් කරුණාකරලා උත්තර දෙන්න.”
“ඇත්ත වශයෙන්ම මම අවදියෙන් ඉන්න කොට මට ඔයාව ඇහෙනවා, නමුත් මට වරින් වර නින්ද ගියා, මඩ්,” ඔහු සිය නව, පහත්, ගුගුරන හඬින් පැවසීය. “මම හිතනවා නින්ද නිසා මට දේවල් කිහිපයක් මග හැරුණා කියලා. සාමාන්‍යයෙන් ගත්තාම මම හොඳින්, සමහර වෙලාවට ටිකක් අමුත්තකුත් දැනෙනවා. මම රෑ කෑම එනකම් තමයි මේ ඉන්නේ.”
“දැන් වේලාව කීයද?”
“එකොළොස් හතළිස් පහයි, අපට ටික වේලාවකින් පොඩි දිවා ආහාරයක් ගන්න පුළුවන්, ඔයාට මොනවා හරි ඕනෙද?”
“මොනවද?”
“ඔහ්, සලාදයක්…”
“අපෝ, හාවන්ගේ කෑම!”
“ඒත්, ඒත් ඔයා මීට ඉස්සර හරිත සලාද රස වින්දා, හෙන්ග්…”
“මමද? මට එය සිතා ගන්න බැහැ ඒ වගේම මම ඒකට කැමතියි කියලා මතකයක් නැහැ.”
“ඔම්ලට් එකක් කොහොමද?”
“ඔව්, ඒක වඩා හොඳයි. ඔයාට ඒකට මිල්ක්ෂේක් මිශ්‍ර කරන්න පුලුවන්ද?”
“ඔව්, ඇත්තෙන්ම, ඇයි බැරි කියලා හිතන්න බැහැ, රාත්‍රී කෑමට ඉස්සර ගන්න ඕනේ ටික මේ තියෙන්නේ.”
“අපි ඩින්ට විනාඩි තිහක් දීලා බලමු. ඔයාට එළු ළමයෙක්ව මරන්න කියලා එයා ලවා ඩෙන්ට පණිවිඩයක් යවන්න මට ඕනේ.”
දිවා ආහාරයෙන් පසු ඩින් පිහි කිහිපයක්, මස් දැමීම සඳහා බෑගයක් සහ රුධීරය දැමීම සඳහා බෝතලයක් ඇගේ සහෝදරයා වෙත ගෙන ගියේය. ඒවායින් ඔහුට සිය අඳුරු රාජකාරිය ඉටු කිරීමට හැකි වන අතර ඇය ඒවා බාරදී නැවත එළවලු කොටුවට ගියාය.
“ඔයා ඔම්ලට් එක රස විඳින බව පේනවා, හෙන්ග්?”
“ඔව්, ඒක ඉතා සෞඛ්‍ය සම්පන්න, මස් බහුල, ප්‍රෝටීන් බහුල කෑමක්.”
වැන් හැන්දෑ වරුවේ හෙන්ග් වටා ගැවසෙමින් එළවළු කපමින්, නාම් පික් මිරිස් සෝස් සෑදුවාය, නමුත් හෙන්ග් කිසිඳු වචනයක් හෝ කීවේ නැත. ඔහු දින කිහිපයකින් ගත් ඔහුගේ ඝන ආහාරයෙන් පසු කෙටි නින්දක හෝ සුවය ලැබීමේ දිගු දහවල් නින්දක් ලබමින් සිටියේය.
ඊළඟ පැය විසිහතරේදී ප්‍රයෝජනයට ගත හැකි එළවළු සහ ඖෂධ පැළෑටි කූඩයක් සමඟ සවස් වරුවේ ඩින් ආපසු පැමිණියේය. මඳ වේලාවකට පසු ඩෙන් පැමිණ මියගිය එළුවාගේ මස් බෑගය සහ රුධීරය දැමූ බෝතලය ඔහුගේ මවට භාර දුන්නේය.
“මම ගිහින් මේ එළු සමට ලුණු දමන්නම් අම්මේ, හරිද? තාත්තා මට පෙන්නුවා වගේ මම දැනටමත් ඒක සූරලා තියෙන්නේ. මම විනාඩි විස්සකින් ආයේ එන්නම්.”
“හදිසි වෙන්න ඕනේ නැහැ, අපිට ඕනෑ තරම් කල්වේලාව තිබෙනවා. ඔයා එළුවා මස් කරපු නිසා කෑමට මේසෙට එන්න ඉස්සර ස්නානය කරන්න මතක තියා ගන්න. ”
“ඔව් අම්මේ…”
“ම්ම්ම්, මිල්ක්ෂේක්, මට නියම මිල්ක්ෂේක් සුවඳයි…” හෙන්ග් දඟලමින්, කෙඳිරිලි හඬින් කීවේය.
“ඔව්, හෙන්ග්, මිල්ක්ෂේක්… මඩ් පස්සේ ඔයාට මිල්ක්ෂේක් හදලා දෙයි, නමුත් ඉස්සෙල්ලා ඔයාගේ නැන්දා මෙහි ආ විට අපි රාත්‍රී ආහාරයට පෙර ගන්නාවූ කෑම ගමු.”
“එයාට එළුවාගේ ලේ වල හෝ මස් වල හෝ සුවඳ දැනිලා තියනවා, මට විශ්වාසයි” වැන් ඩින්ට රහසින් පැවසීය. “බලන්න, මායාකාරියකගේ වගේ එයාගේ නහය ඇඹරෙන හැටි. සතියකට කලින් කවුරුත් හිතුවද අපිට මේ විදිහට ජීවත් වෙන්න වෙයි කියලා.”
වැන් වැඩිපුර තිබූ මස් අධිශීතකරණය තුළ තබා හෙන්ග්ට පිසීමට අවශ්‍ය කොටස දුරට රැගෙන ගියේ, එහි රුධිරයෙහි සුවඳින් හෙන්ගෙන් වියහැකි කරදයන්ගෙන් මිදී වැඩ කිරීම සඳහාය. වයින් ඉවරවූ ඔරලෝසුවක් මෙන් හෙන්ග් නැවත නින්දට ගියේය.
හයයි හතළිස් පහට පමණ වැන්, කැබලි කැපූ එළවළු වතුරෙන් ඉවතට ගෙන, වතුර බේරීමට පසෙකින් තබා මේසයක් මතවූ පැරණි කොන්ක්‍රීට් කුට්ටියක් මත තබා තිබූ ලිප දල්වා එයට තවත් අඟුරු කැට කිහිපයක් එකතු කළාය. අද රාත්‍රියේ දරුවන්ගේ ප්‍රියතම ආහාරය ඔවුනට ලැබෙනු ඇත - බාබකියු කෙරූ ඌරු මස්.
බාබකියු කිරීම සඳහා වූ උපකරණ සරල වූවත් ඵලදායක විය. එහි පැරණි තාලේ තැඹිලි යුෂ මිරිකා ගන්නාවූ යන්ත්‍රයකට සමාන ලෝහ ‘තැටියක්’ විය. එහි ද්‍රෝණියට ජලය දමා එළවළු සහ සහල් වලින් සෑදු ස්පැගටි තම්බා ගැනීම සඳහා පාවිච්චි කල අතර එහි කොත මස් බාබකියු කිරීම සඳහා යොදා ගති. ඇත්ත වශයෙන්ම, සෑම කෙනෙකුම තමන්ගේම ආහාර පිසූ අතර ද්‍රෝණිය නිතරම අනෙක් අය වෙනුවෙන් පුරවා තැබූහ.
ඩා, සුදුසු වේලාවට එනම්, හතයි දහයට පැමිණි විට, ශීතකරණයෙන් මස් ගෙන ඒමට වැන්, ඩින්ව යැවීය. ඇය මේසයෙන් යාර දහයක් පමණ දුරින් සිටින විට, ඔහුගේ නාසය කරකවමින්, හෙන්ග් නැවතත් ‘අවදිවිය’.
“ම්ම්ම්, මිල්ක්ෂේක්!”
“නෑ, හෙන්ග්, මිල්ක්ෂේක් පස්සේ, දැන් ඔයාට ළමයගේ කොටස.”
“ම්ම්ම්, ළමයගේ කොටස, නියමයි, භාගෙට උයලා…”
ඩා පුදුමයට පත් වූ අතර සියල්ල මනසේ සටහන් කර ගත්තාය.
බාබකියු කිරීමට වැන් මස් උඳුන මත දැමූ විට, හෙන්ග් තම කන්නාඩි යුගල ගලවා ගත්තේ ක්‍රම ක්‍රමයෙන් අඩුවී යන ආලෝක තත්ත්වය මැද සියල්ල පැහැදිලිව දැක ගැනීමටය. ඔහුගේ දෑස් දැවෙන රතු පුලිඟු ලෙස දිලිසුන අතර ඒ දුටු දරුවන් දෙදෙනා වෙවුලුවේ බියෙන් සහ කිසිවක් තේරුම්ගත නොහැකි ලෙසය.
.එහි සිටින සෑම කෙනෙකුම තැම්බෙන එළවලු සහ මස් පිසින විට නැගෙන සුවඳ ඉතා අපූරු බව කිව හැකි වූවත්, හෙන්ග් පළමුව කතා කළේය.
“ළමයාගේ සුවඳ දැන් නියමයි! ලේ ටික පුච්චලා දාන්න එපා. හෙන්ග්ට අවශ්‍ය වන්නේ මස් ටික බාගෙට උයලා… එළවළු එපා, ගඳ විතරයි.”
“ඔව්, හෙන්ග්, මම දන්නවා, බාගෙට උයලා, නමුත් අමුවෙන් නෙමෙයි. මේක තාමත් අමුයි, ඔයා තව විනාඩි දෙක තුනක් ඉන්න.”
“නෑ මඩ්, මම මේ වගේ කන්නම්. දැන් නම් ඒකෙ සුවඳ ඉතාම හොඳයි, නමුත් ගතවෙන සෑම විනාඩියකදීම ඒකෙ සුවඳ අඩු වෙනවා. මට දැන් කන්න ඕනේ.”
“හරි, හෙන්ග්, ඔයා කැමති විදිහට කරන්න. ඔයාගේ මස් එක්ක එළවලු හරි ස්පැගටි හරි ඕනෙද?”
“නැහැ, මස් විතරයි, ඕනේ හාවාව මිසක්, හාවාගේ කෑම නෙමෙයි.”
වැන් ගින්නෙන් මස් කැබලි දෙක ගෙන, එකක් හෙන්ග් වෙත පිඟානක් මත තබා දුන්නේය.
“ඔන්න, පෝ, ඒත් මට නම් තාම ඒක ලේ පාටයි. අපි වගේම ඔයත් හැම වෙලේම මස් කෑවේ හොඳට උයලා.”
හෙන්ග් පිඟාන රැගෙන, ඔහුගේ හාවෙකු මෙන් ගැහෙන නාසයට සමීප කොට එහි සුවඳ බැලුවේය. ඉන්පසු ඔහු පිඟාන උකුල මත තබා කුඩා මස් කැබැල්ල අත් දෙකෙන්ම රැගෙන නැවත නාසය වෙත එසෙව්වේය.
“අලංකාරයි, ටිකක් වැඩිපුර පිච්චිලා, ඒත් හරිම හොඳයි” කියා ඔහු පැවසුවේය.
කුඩා මස් කැබැල්ලක් කඩා ඔහුගේ ඉදිරිපස දත් වලින් එය හපන විට සෑම කෙනෙකුම ඔහුගේ සෑම පියවරක්ම දෙස සෝදිසියෙන් බලන බව හෙන්ග් දුටුවේ නැත. වැන් සිතුවේ අඩුම තරමින් මුළු මස් කැබැල්ලම ඔහු එක් වරම ගිලදමාවී කියාය. ඉන්පසු ඔහු එක් අතකින් මස් කැබැල්ල අල්ලාගෙන අනෙක් අතින් මස් කැබලි කඩා ගත්තේය. ලේ වැකි තිබූ අභ්‍යන්තරය පෙනුණු විට ඔහු එය මත තම දෙතොල් තබා උරා බොන්නට විය.
ඔහුගේ රතු සහ රෝස පැහැති ඇස් මගින් උකුස්සෙකු මෙන් මස් කැබැල්ල දෙස බලා සිටියදී, ඔහුගේ පවුලේ අය එකිනෙකා දෙස පුදුමයෙන් බලා සිටියහ.
“ප්‍රශ්නයක් තියනවද?” ඔහු තම බිරිඳ දෙසට හිස හරවා ඇසීය.
“නෑ, හෙන්ග්, ප්‍රශ්නයක් නැහැ. ඔයා ආයෙත් ඝන ආහාර කනවා දැකීම සතුටක්, එච්චරයි. අපිට ඔයා ගැන සතුටුයි, හැමෝටම එහෙම නේද? ”
“ඔව්,” ඔවුන් සියල්ලෝම එකවර පැවසූහ, නමුත් ඩාට ඇගේ සැක සංකා තිබුණි, නමුත් එම මොහොතේ ඒවා බෙදා ගැනීමට ඇය සූදානම් නොවීය.
“හොඳයි! එහෙනම් ඒක හරි,” යනුවෙන් පවසමින් හෙන්ග් අතිශය කැමැත්තකින් නැවත අනුභවය පටන් ගත්තේය.
වර්ග අඟල් දුසිම් භාගයක පමණ මස් කොටස අනුභව කිරීමට හෙන්ග්ට විනාඩි තිහක් ගත වූ අතර පසුව ඔහු අස්ථිය කෑම ආරම්භ කළ අතර එහි රැඳී තිබූ මස් සියල්ල පිරිසිදු කොට අවසානයේ අස්ථිය ලෙව කෑවේය. අනෙක් අයට තමන්ගේ ආහාරය කෙරෙහි අවධානය යොමු කිරීම කළ නොහැකි වූ අතර, එහි ප්‍රථිපලය වූයේ ද්‍රෝණියෙහි ජලය වාශ්පවී යාමත් මස් වැඩිපුර පිලිස්සී යාමත්ය. එබැවින් ඔවුන්ගේ ආහාර බොහෝ දුරට විනාශ වී තිබුන අතර වෙතත් ඔවුන් ආහාර නාස්ති නොකරන අය වීම නිසා ඒවා අනුභව කළහ.
ඔහු පළමු මස් කැබැල්ල අවසන් කළ පසු, හෙන්ග් ඔහුගේ අත්ලේ පිටුපසින් තම මුඛය පිසදමා, පසුව අතද ලෙවකමින් පිරිසිදු කළේය. එය දුටු කෙනෙකු සිතන්නේ හෙන්ග්ට පාන් සහ ජලය පමණක් කෑමට දුන් හුදකලා සිර කඳවුරක සිට වසර ගණනාවකට පසු නිදහස් කෙරූ අයෙකු ලෙසටය. ඔවුන්ගෙන් කිසිවෙකු ආහාර මෙතරම් භුක්ති විඳින කෙනෙකු දැක නොතිබුණි.
“ඔයාට දැන් අනිත් එක ඕනෙද, පෝ,” ඩින් ඇසුවාය.
හෙන්ග් තම උරහිස් වටා දමා තිබූ පොරවනය අල්ලාගෙන එය වඩාත් සුවපහසු ආකාරයන් ඔතා ගැනීමට උත්සාහ කෙරූ අතර ඔහුගේ උකුල මත තිබු පිඟාන බිමට වැටීමට පෙර ඩෙන් අල්ලා ගත්තේය.
“කාපු එක පහලට යනකම් අපි ටිකක් බලමු, ඊට පස්සේ තව ටිකක් කමු” හෙන්ග් පැවසීය. “හරිම ශෝක් කෑම, හෙන්ග් ගොඩක් කැමතියි.”
ඩෙන් ඔහුගේ මව දෙස බැලූ අතර ඔහු අදහස් කළේ කුමක්දැයි ඇය දැන සිටියාය. හෙන්ග් පරෙවි-තායි කතා කරමින් සිටි අතර ඔහුගේ තායි උච්ඡාරණය කිසිදා නිවැරදි නොවූයේ ඔහුගේ දෙමව්පියන් චීන ජාතිකයන් වූ බැවිනි. එහෙත් කිසිම දිනක ඔහු මෙතරම් නරක ලෙස කතා කර නොමැත.
සියල්ලෝ ඔවුන්ගේ ආහාර ගැනීම සඳහා නැවත යොමු වන අතර හෙන්ග් කිසිදු හැල හොල්මනක් නැතුව සිටියේය. හදිසියෙන්ම ඔහු සිටි දිශාවෙන් යටපත්වූ, මඩ ගොහොරුවක පය අදින්නාක් මෙන් ශබ්ධයක් පැමිණියේය. සිදු වූ දේ සැමදෙනාම දැන සිටියත් ආචාරශීලී බව නිසා ඔවුන් සියල්ලෝම එය නෑසුනා සේ සිටියහ. ඒ සමගම තවත් එවැනි ශබ්ධයක් සමග දැඩි දුර්ගන්ධයක් පැතිර ගියේය.
ඔහුගේ අඳුරු කණ්නාඩියට යටින් පුළුල් සිනහවක් සමග සිටි හෙන්ග් දෙස බැලීමට නිර්භීත වූයේ වැන් සහ ඩා පමණි. .
ඩෙන් සිහින් හඬින් සිනාසීමට පටන් ගත්තේය. මුලදී සිනහව සුළු වුවත් තව දුරටත් එය යටපත් කරගැනීමට ඔහු අපොහොසත් වීය. ඩින් මහා හඬින් සිනාසීමට පටන් ගත්තේය.
“නිහඬ වෙන්න, ලමයිනී! ඔයාලගේ තාත්තාට ඒක පාලනය කරගන්න බැහැ. එයාට අසනීපයි,” වැන් පැවසීය. “එයාගේ කෑම සියල්ල එයාගේ ඇඟ හරහා යන්න ඇති.”
කෙසේ වුවත්, ඩෙන් සහ ඩින්ට ඔවුන් දෙදෙනාව පාලනය කරගත නොහැකි විය. හෙන්ග්ද එහි හිඳගෙන සිටියේ ඔහුගේ මුහුණේ තෘප්තිමත් සිනහවකින් සරසාගෙනය. මිනිත්තු කිහිපයකට පසු, ගඳ අඩු නොවූ විට, වැන් ඩෙන්ට කතා කළාය.
“ඔයාගේ තාත්තව වැසිකිළියට අරගෙන යන්න, ඩෙන්, එතකොට එයාට පිරිසිඳු වෙන්න පුලුවන් නේද? මොනවා හරි ප්‍රශ්නයක් නම්, කෑ ගහන්න, මම එන්නම් එයාට උදවු කරන්න.”
“හෙන්ග්, ඔයාගේ යට ඇඳුම් රෙදි සෝදන කූඩයට දාන්න, මම හෙට ඒවා වෙන් කරන්නම්.”
ඔවුන් ගිය පසු වැන් මෙසේ පැවසීය.
“හොඳයි! ඔහ්, ඔයා මොනවද ඒ ගැන හිතන්නේ, ඩා නැන්දා?”
“හරිම අමුතුයි, එහෙම නේද? නමුත් හෙන්ග්ගේ හැසිරීම මට මතක් කරන්නේ කුරුල්ලෙකුගේ හැසිරීම. මට ඒ ගැන හරියටම කියන්න බැහැ, නමුත් එයා එහි හිඳගෙන සිටි ආකාරය සහ එයා කෑම කාපු ආකාරය හා ආහාර ගැනීමෙන් පසු කරපු ආකාරය… කුරුල්ලෝ එහෙම කරනවා - මම දන්නවා ගොඩක් සතුන් ද එහෙම කරනවා කියලා, නමුත් ඔයාම බලන්න ඔයාගේ කුකුලෝ දිහා. මස් කෑමෙන් පස්සේ එයා ඇඳ රෙද්දෙන් එතිලා කන්නාඩි දාලා හිටියේ හරියට කුකුලෙක් වගෙයි.”
“ඒත් ඉතින්, ඔයා හිතන්නේ නැද්ද එයා මලපහ කිරීම පාලනය කරගන්න බැරි පුද්ගලයෙක් වෙලා කියලා? මම අපේ ඇඳ ගැන ටිකක් කනස්සල්ලෙන් ඉන්නේ… අපි සති කිහිපයකට ඉස්සර අලුත් මෙට්ටයක් මිලට ගත්තා… ඒක මහා ලැජ්ජාවක් වෙයි, එහෙම නෙමෙයිද? අපට විශ්වාසය ඇතිවන තෙක් එයාව ධාන්‍යාගාරයේ තිබ්බොත් හොදයි කියලා ඔයා සිතනවාද? ”
“නැහැ, කරදර වෙන්න එපා! කුරුල්ලන් උනත් එයාලගේ කූඩුව ඇතුලේ ජරා කරගන්නේ නැහැ, නමුත් සිදුවන්නේ මොකක්ද කියලා අපට වඩා හොඳින් අවබෝධ වන තුරු ඔයා කැමති වෙයි එයාට නැපියක් අන්දලා තියන්න… නැත්නම් පැම්පරයක් අන්දන්න, නමුත් සමහර ඒවා ගන්න ඔයාට නගරයට යන්න වෙයි.”
හෙන්ග් ඩෙන් සමඟ ආපසු පැමිණි විට, ඔහු බෙල්ල නමාගෙන ලජ්ජා සහගත බවකින් සිටියේය.
“ඔයා හොඳින්ද, හෙන්ග්?” ඔහුගේ බිරිඳ ඇසුවාය.
“ඔව්, හදිසි අනතුරක්. කරදර වෙන්න එපා ප්‍රශ්නයක් නැහැ. අද තවත් වෙන්නේ නැහැ. දැන් නිදාගන්න යනවා.”
“ඔව්, හොඳ අදහසක්. ඩා නැන්දා, එයාගේ මිල්ක්ෂේක් ගැන මොකක්ද කියන්නේ?”
“මම හිතන්නේ එයා ඇඳට යන්න ඉස්සර යමක් ගන්න ඕනේ. ඔයාගේ අලුත් ඇඳ ගැන කරදර වෙන්න එපා, එයා මීට ඉස්සර ඒක ජරා කරේ නැහැනේ, ඒ නිසා අද රෑත් එහෙම කරන එකක් නැහැ. නමුත් මම එයත් එක්ක එක ගෙදරක ජීවත් වෙනවා නම්, මම කැමති නැහැ එයා මහා රෑ නැගිටලා කන්න මොනවා හරි හොයනකොට”
“ඔව්, ඔයා බොහෝ විට හරි. ඩෙන්, ඔයාගේ තාත්තාව විනාඩියකට මේසයේ අද්දර වාඩි කරවන්න. ඩින්, කරුණාකර මිල්ක්ෂේක් වීදුරුවක් ගේන්න.”
ඔහු එය පානය කල පසු කිසිදු සැකකටයුතු ශබ්දයක් හෝ සුවඳක් නොතිබූ බැවින්, වැන් දරුවන්ට පැවසුවේ තම පියාව ඇඳට ගෙන යන ලෙසටයි.
“එයා හොඳින් ඉන්නවද කියලා බලන්න මම ටිකකින් උඩට යනවා, නමුත් මම හිතන්නේ එයා දැන් නිදා ගනීවි.”
“හොඳයි, හොඳයි, හොඳයි, ඩා නැන්දා, මොනවා කරන්නද, එහ්? දැන් අපේ ගෙදර කුරුළු මිනිසෙක් ඉන්නවා! ඔයා ඒගැන මොකද හිතන්නේ?”
“මට තවම විශ්වාස නැහැ, වැන්, නමුත් ඔයාගේ විහිළුව ඔයා නොදන්නා තරමට සත්‍යයට ලං වෙන්න පුළුවන්. අපි බලා හිඳිමු මොකද වෙන්නේ කියලා.”
“ශීත ඍතුවෙදී එයාට දකුණට සංක්‍රමණය වෙන්න ඕනේ වෙයිදැයි බලමු.”
ඩා විහිළුවක් කරනවාද නැද්ද යන්න ගැන වැන්ට අවබෝධයක් නොවීය, එබැවින් ඇය ගුප්ත අර්ධ සිනහවක් ලබා දුන් අතර, නමුත් එම සිනහව විනිවිද දැකීමට කට්ටඩි නැන්දාට හැකි බව ඇය දැන සිටියාය.
ඇය කනස්සල්ලට පත්වූ නමුත්, එවැනි තත්වයන් යටතේ එසේ නොවන්නේ කවුද?

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=65495107) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.